Saturday, September 21, 2013

ඇස් උගුල්ලන සර්පයෙක්...?? ඇහැටුල්ලා / Green Vine Snake


අද මම අපේ රටේ ටිකක් බහුලව හමුවෙන සර්පයෙක් ගැන තොරතුරු අරගෙන ආවා. එයා තමයි අපි කවුරුත් හොදින් හදුනන ඇහැටුල්ලා, එහෙමත් නැත්නම් ඇස්ගුල්ලා.   Colubridae  කුළයට අයිතිවෙන මේ සර්පයා Ahaetulla nasuta  යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා.
ඉතා උස් කදු මුදුන් හැරුණු විට දිවයිනේ සෑම ප්‍ර‌දේශයකම  (මුහුදු මට්ට‌මේ සිට උස මීටර 1000 දක්වා දිවයි‌නේ ප්‍ර‌දේශ)  වාගේ මේ සර්පයාව දැක ගන්න පුලුවන්. මේ  සර්පයින් ගස් හා පඳුරු ආශ්‍රිතව තමයි ජර්‍‌වත් ‌වෙන්නේ.
මෙයාලා ලංකාවේ වගේම ඉන්දියාව නේපාලය තායිලන්තය මියන්මාරය වගේ රටවලත් දැක ගන්න පුලුවන්. ඇහැටුල්ලා දිග උල්වු හිසක් දරනවා. ඒ වගේම මෙයාලට දිග සිලින්ඩරාකාර වලිගයකුත් තියෙනවා. ඇහැටුල්ලා  ‌බො‌හෝ විට ලා ‌හෝ අඳුරු ‌කොළ පාටක් දරනවා. ඇතැම් විට දුඹුරු පාටින් යුක්ත සර්පයින් ද හමුවෙලා තියෙනවා. ශරීරයේ යටි පැත්ත සුදු පාටයි.
 ඇසේ දිගු කැපී පෙනෙන කනිනිකාවක් දකින්න පුලුවන්. ඒ වගේම  අනෙක් සර්පයින්ට සාපේක්ෂව මේ සර්පයාගේ පැහැදිලිව පෙනෙන ගෙලක් දකින්න පුලුවන්.
ඇහැටුල්ලා කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ විෂ තියෙන සර්පයෙක්. දළ වල පිහිටීම අනුව ඇහැටුල්ලා Opisthoglypha කාණ්ඩය යටතේ වර්ග කරනවා. ඒ කියන්නේ මෙයාලා පිටුපසින් පිහිටි ‌කෙටි දළ තියෙන සර්ප විශේෂයක්. මීටර් 1- 1.5 පමන දිගින් වැ‌ඩෙනවා.
ඇහැටුල්ලා  මිනිසුන්‌ගේ ඇස් ගලවන බව සමහරක් දෙනා විශ්වාස කරනවා. මෙය සම්පූර්ණයෙන්ම මිත්‍යා විශ්වාසයක්. ඇහැටුල්ලා රුක් වාසී සර්ප‌යෙක්. ‌‌මේ නිසා ‌බො‌හෝ විට මිනිසුන්ට පහර දීම් සිදු වන්‌නේ ශරීර‌‌යේ මුහුන ආශ්‍රිත ඉහළ ‌කොටසටයි. මේ හින්දා මේ මතය මිනිස්සු අතර ගියා කියලා හිතන්න පුලුවන්. නමුත් ඇහැටුල්ලා ඇස් ගැලවීමක් සිදු කරන්නේ නෑ.
මේ සර්පයා පරිසර‌යේ සිදුවන ‌වෙනස්කම් වලට ඉතා සං‌වේදියි.
මඳ විෂ සහිතයි. පක්ෂීන් හා කුඩා ක්ෂීරපායින් ආහාරයට ගන්නවා.

ඇහැටුල්ලා /  Green Vine Snake 



Sunday, August 18, 2013

සර්පයෙක් කෑවොත්....???? සර්ප දෂ්ඨනයට ප්‍රථමාධාර

ඔන්න ඉතින් කලින් දවසක කිව්වා වගේම අදත් ආවා ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් වෙන සර්පයෙක් දෂ්ඨ කලොත් ලබාදෙන්න ඕනි ප්‍රථමාධාර මොනවද කියන එක ගැන කතා කරන්න.
සර්පයෙකු විසින් දෂ්ඨ කළ සෑම විටකම අනිවාර්යෙන්ම නිවරදි ප්‍රථමාධාර ලබා දෙන්න ඕනි. ප්‍රථමාධාර දෙන එක ගැන කතා කරන්න කලින්  සර්පයෙක් කෑවාම ප්‍රථමාධාර ලබා දෙන්න ඕනි ඇයි කියලා අපි පොඩ්ඩක් බලමු.
ප්‍රථමාධාර ලබා දීමේ ප්‍රධාන අරමුනු තමයි, විෂ ශරීරය පුරා පැතිරීම වැලැක් වීම. මේක බොහොම වැදගත් කාරණයක්, මොකද සර්ප දෂ්ඨනයකදී වැඩිපුර අනතුරු සිදුවෙන්නේ විෂ ශරීරය පුරා පැතිරිලා ගියොත් තමයි. ඒ වගේම දෂ්ඨ කිරීම නිසා හට ගන්නා අතුරු ආබාධ හැකිතාක් දුරට අඩු   කිරීමත් මේ ප්‍රථමාධාර වල තවත් අරමුණක්.
 ඒ වගේම වැරදි ප්‍රථමාධාර විධි නිසා සිදුවෙලා තියෙන හානිය තවත් වැඩි වෙන්න පුලුවන් කියන එකත් මතක තියා ගන්න ඕනි. ඒ නිසා අපි කවුරුත් නිවරදි ප්‍රථමාධාර විධි ගැන දැනුවත් වෙලා ඉන්න එක හොදයි කියලා තමයි මම නම් හිතන්නේ.
ඕනිම සර්පයෙක් දෂ්ඨ කළාම ඕනෑම පුද්ගලයෙක් තුළ බියක් ඇතිවීම සාමාන්‍යය දෙයක්.  පලවෙනි වගේම වැදගත් දේ තමයි ප්‍රථමාධාර ලබා දෙන පුද්ගලයා බිය නොවී ඉන්න එක. අනිත් අයත් රෝගියා බිය කරන එක නතර කරන්න ඕනි. මොකද කිව්වොත් බය වුන ඕනිම වෙලාවක අපේ හෘද ස්පන්දන වේගය වැඩිවෙනවා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් හෘද ස්පන්දන වේගය වැඩි වුනාම ශරීරය තුළ රුධිර ගමනා ගමන වේගය වැඩි වෙනවා. එතකොට දෂ්ඨ කළ ස්ථානයෙන් ශරීරයට ඇතුලු වුන විෂ ශරීරය පුරා ගමන් කරන වේගය වැඩි වෙනවා. ඒ හින්දා බිය තුරන් කිරීම ප්‍රථමාධාර දීමේදී ඉතාමත් වැදගත් වෙනවා. බිය නැති කිරීම  පහත දක්වලා තියෙන කරුනු රෝගියාට පැහැදිලි කරලා දීමෙන් බොහෝ දුරට කරන්න පුලුවන්.
ලංකාවේ ගොඩබිම ජීවත්වෙන සර්පයින් වැඩිදෙනෙක්  විෂඝෝර සරපයින් නෙමෙයි.ඇත්තෙන්ම කිව්වොත් අපේ රටේ ගොඩබිම ජීවත් වෙන සර්පයන්ගෙන් මාරාන්තික වෙන්නේ පස් දෙනෙක් විතරයි. මම මේ ගැන කලිනුත් කතා කලා ඔයාලට මතක ඇතිනේ..

වගේම මීලග කරුණ තමයි සර්පයා විෂ සහිත  වුනත් බොහෝ විට ඔවුනට විෂ ශරීර ගත කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පහර දීම නිසි පරිදි වුනේ නැත්නම් ශරීරයට නිසි විදිහට විෂ ඇතුලු වීමක් වෙන්නේ නෑ කියන එක.
ඒ වගේම තමයි ඔවුන්ගේ දළ පහර වැදීම පමනක් විෂ ඇතුලු වූ බවට ස්ථිර සාක්ෂියක් නෙවෙයි.

වඩා වැදගත් දේ තමයි මාරාන්තික සර්පයෙක් දෂ්ඨ කරලා විෂ ශරීර ගත වුනත් එයට සම්පූර්ණ සුවය ලබා දිය හැකි ප්‍රතිකාර ක්‍රම ලංකාවේ රෝහල් වල පවතිනවා.  ප්‍රථමාධාර ලබා දෙන කොට කරන්න ඕනි දේවල් වගේම නොකරන්න ඕනි දේවලුත් ගොඩක් තියෙනවා. ඒවා ගැන කතා කරන්න ආයෙත් දවසක හමුවෙමුකෝ. මම හැමදාම මේ කියන දේවල් වල මොනව හරි වැරදි අඩුපාඩු වගේම තව එකතු වෙන්න දේවලුත් තියෙනවනම් පහළ කමෙන්ට් එකක් දාලා යන්නකෝ....

නයා Naja naja

Saturday, August 3, 2013

සර්පයින් හා බැදුන මිත්‍යා විශ්වාස- 2


සර්පයින් ගැන තියෙන මිත්‍යා මත ගැන පසුගිය දවසක ටිකක් කතා කලා මතක ඇතිනේ. අමතක නම් මෙතනින් ගිහිල්ලා පළවෙනි කොටස බලලා එන්නකෝ.


අද කතා කරන්න යන්නේ මිත්‍යා මත ගැන දෙවැනි කොටස
එදත් කිව්වා වගේම  මාපිලුන් ගැන ගොඩක් මිත්‍යා මත අපේ සමාජයේ මිනිසුන් අතර තියෙනවා. ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා මාපිලුන් හත් දෙ‌නෙකු වශ‌යෙන් එකට ජීවත්‌වෙන වෙනවා කියලා. ඒ වගේම එක මා පිලෙක් මැරුවොත්  අ‌නෙක් හය දෙනා ඇවිල්ලා  අදාල පුද්ගලයා‌ගෙන් පළි ගන්නා බව එයාලා විශ්වාස කරනවා.
‌‌මාපිලුන් අනෙක් සර්පයින්ට සර්පයින්ට වඩා ඇතැම් විට රංචු වශ‌යෙන්‌ ජීවත් වෙන්න කැමත්තක් දක්වන බව සොයා ගෙන තියෙනවා. ඒත් හත් දෙනෙක් එකට ඉන්නවයි කියන කතාව බොරුවක්. මේ ගාන දෙන්නෙක්ගේ ඉදලා කිහිප දෙනෙක් දක්වා වෙනස් වෙන්න පුලුවන්. මෙසේ රංචු වශයෙන් සිටීම  සතුන්‌ගෙන් ආරක්ෂාවට වැදගත් ‌වෙනවා. මේ නිසා එ‌කෙකු මිය ගිය විට ශරීර‌යෙන් පිටවන ‌හෝ‌මෝන ආදී රසායනික ද්‍රවයන්ට ආකර්ෂණය වෙලා අ‌නෙක් අයගේ පැමිණීම වෙන්න පුලුවන්  නමුත් පළිගැනීම මිත්‍යා මතයක්.
ඒ වගේම සර්පයින්ගේ ප්‍රජනන කාලයට ඔවුන්ගේ ශරීර වලින් පිට වෙන හෝමෝන ආදී රසායනික ද්‍රවයන් වලට ආකර්ෂණය වෙලා විරුද්ධ ලිංගික සර්පයින්ගේ පැමිණීම සිද්ධ වෙන්න පුලුවන්.
පිඹුරා (Python molurus ) කියන්නෙත් අපේ රටේ ගොඩක් දෙනාගේ මිත්‍යා විශ්වාස වලට භාජනය වෙච්ච සර්පයෙක්.  පිඹුරාගේ වලිගය ‌කෙලවර විෂ කටු ‌දෙකක් තියෙනවා කියලා ඇතැම් අය විශ්වාස කරනවා. ඇත්තටම පිඹුරාගේ වලිගය කෙලවර නෙරීමි දෙකක් තියෙනවා. ඒත් මේවා විෂ කටු නෙමෙයි. මේවා පරිනාම‌යේදී ඇතිවූ පාද වල නෂ්ඨාව‌ශේෂයි. ඒ නිසා මේවායින් පහර දීමේ හැකියාවක් පිඹුරාට නැහැ.
 ඇහැටුල්ලා (Ahaetulla nasuta) මිනිසුන්‌ගේ ඇස් ගලවන බව සමහරක් දෙනා විශ්වාස කරනවා. මෙය සම්පූර්ණයෙන්ම මිත්‍යා විශ්වාසයක්. ඇහැටුල්ලා රුක් වාසී සර්ප‌යෙක්. ‌‌මේ නිසා ‌බො‌හෝ විට මිනිසුන්ට පහර දීම් සිදු වන්‌නේ ශරීර‌‌යේ මුහුන ආශ්‍රිත ඉහළ ‌කොටසටයි. මේ හින්දා මේ මතය මිනිස්සු අතර ගියා කියලා හිතන්න පුලුවන්. නමුත් ඇහැටුල්ලා ඇස් ගැලවීමක් සිදු කරන්නේ නෑ.
නිදි මාපිලා( Boiga ceylonensis )  දෂ්ඨ කළ පසු රෝගියා නින්‌දේදීම මිය යන බවට මතයක් තියෙනවා. ‌මොහු නිශාචර සර්ප‌යෙක් නිසා ක්‍රියාශිලී වෙන්නේ රාත්‍රී කාලයටයි. ඒ හින්දා මිනිසුන්ට පහර දීම්ද සිදු වන්‌නේ රාත්‍රි කාල‌යටයි. නමුත් නින්‌දේදී මිය යන මතය පදනම් විරහිතයි.
න‌යෙක් ( Naja naja )  දෂ්ඨ කළ පසු එම නයා ගෙන්වලා උගෙන් විෂ උරා දැමිය යුතු බවත් එසේ කලොත් රෝගියා මරණයෙන් බේරාගන්නට පුලුවන් කියලත් අතීතයේ මිනිස්සු විශ්වාස කලා. මේක සම්පූර්ණ‌යෙන්ම මිත්‍යා මතයක්.
තිත් ‌පොළගා (Daboia russelii) වයස් ගත වනවිට පිඹුරා (python molurus)  වන බව ඇතැමෙක් විශ්වාස කලත් ‌මෙහි කිසිදු සත්‍යක් ‌නෑ. පිඹුරා සහ පොළගා කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විශේෂ දෙකක්.



ඇහැටුල්ලා (Ahaetulla nasuta)

Sunday, July 28, 2013

සර්පයින් හා බැදුන මිත්‍යා විශ්වාස


අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්. ඒ තමයි සර්පයෝ ගැන මිනිස්සුන්ගේ තියෙන මිත්‍යා විශ්වාස. සර්පයෝ කියන සත්ව කොට්ඨාශය අනිත් සතුන්ටත් වඩා මිත්‍යා මත ගොඩකට පදනම් වෙච්ච විදිහට සත්ත්ව කාණ්ඩයක් විදිහට හදුන්වන්න පුලුවන්. සර්පයින් හා  බැදුන මිත්‍යා විශ්වාස ‌බො‌හොමයක් අප සමාජය තුළ පැතිරිලා තියෙනවා. ‌මේකට ප්‍රධාන‌ ‌හේතුවක් තමයි සර්පයින් පිළිබඳ ජනතාව තුළ පවතින ‌නොදැනුවත් කම වගේම සර්පයින් කෙරෙහි පවතින බිය.
 ‌ලේ මාපිලන් (Bogia forsteny ) හත් ‌දෙ‌නෙකු රාත්‍රියට ඇවිල්ලා  වහ‌ලේ එල්ලිලා  නිදා ගෙන ඉන්න පුද්ගලයින්‌ගේ පාද‌යේ මහපට ඇගිල්ල සිදුරු කර ‌ලේ උරා බොනවා කියලා ගොඩක් ගම්බද පුද්ගලයින් විශ්වාස කරනවා. ‌ ලේ උරා බිබ්වට පස්සේ ‌ලේ හිඟවීම නිසා අදාල පුද්ගලයා නින්‌දේදීම මිය යනවා කියලත් එයාලා හිතාගෙන ඉන්නවා. මේක සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්,‌ලේ මාපිලාට එම නම පටබැදෙන්න උ‌ගේ ශරීර වර්ණය දායක වන්නට ඇතැයි හිතන්න පුලුවන්.  ලේ මාපිලා සතුව තියෙන පරිග්‍රාහී වලිගය නිසා යමක එල්ලී සිටී‌මේ හැකියාව තිබුනත් ලේ උරා බීමක් සිදු කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ‌ලේ උරා ‌බොන කිසිදු සර්ප‌යෙක් ලංකාව තුළින් මෙතෙක් වාර්තා වෙලත් නෑ.
කටකලුවා (Coelognathus helena )  මිනිසුන්ට දෂ්ඨ කලාට පස්සේ  අසල තියෙන ගසකට නගින බවත් ‌රෝගියා මිය යන ‌තෙක් ග‌ස උඩට වෙලා ඉදලා ‌රෝගියා මියගියාට පස්සේ පසු ග‌සෙන් බැහැලා  යනවා කියලත් සමහර අය විශ්වාස කරනවා. මේකත් මිත්‍යා මතයක්, කටකලුවා මිනි‌සෙකුට මරණය ‌ගෙන දීමට තරම් විෂ තියෙන සර්පයෙක් නෙමෙයි. ‌භෞමික හා අර්ධ ‌ලෙස රුක්වාසි‌යෙකු වෙන මේ සර්පයා බොහෝ වෙලාවට ගස් උඩ දැක ගන්න නම් පුලුවන්, ඒත්‌ ‌මොහු එක් වරම මිනිසාට පහර දීමට නම් පෙළ‌‌ඹෙන්නේ නෑ.
ගොඩක් දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි දෙපත් නයාට (Cylindrophis maculatus) හිස්‌දෙකක් තියෙනවයි කියන එක. ‌දෙපත් නයා‌ගේ හිස හා වලිගය දෙකම එකම ස්වරූපයෙන් යුක්ත වීම මේකට හේතු වෙන්න පුලුවන්..
තවත් මිත්‍යා මතයක් තමයි ගැරඩියා (Ptyas mucosa) ‌හෝ දිය බරියා (Gerarde prevostiana ) දෂ්ඨ කලාට පස්සේ  ‌වෙනත් සර්පයින් එම පුද්ගලයාට දෂ්ඨ ‌නොකරන බව.
‌මෙකත් සම්පූර්න‌යෙන්ම මිත්‍යා විශ්වාසයක්. ගැරඩියා වගේම දිය බරියත් හිරිහැර ක‌ලොත් ‌හෝ ඇල්ලීමට උත්සහ දැරීමක් ‌නොකරන්‌නේ නම්  කිසිවිටකත් මිනිසාට පහර දීමට ‌පෙලඹෙන්නේ නෑ.
සර්පයෝ ගැන තියෙන මිත්‍යා විශ්වාස තව ගොඩක් අපේ සමාජයේ තියෙනවා, ඒව ගැනත් තොරතුරු අරගෙන තවත් දවසක හම්බුවෙමුකෝ..