Friday, April 3, 2015

සර්පයන්ට ඇති තර්ජන සහ සංරක්ෂණය- 2

පසුගිය දශක ගණනාව තුළ ශ්‍රී ලංකාවේ වන විනාශය සීඝ්‍රයෙන් සිදු විය. නාගරිකකරණය, වගාවන් පිණිස වනාන්තර විනාශ කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතී. මේ නිසා සර්පයින් පමණක් නොව අනෙකුත් බොහොමයක් වනජීවීන්ගේද වාසස්ථාන අහිමි වී යයි.
කෘෂි කාර්මික කටයුතු වලදී යොදා ගන්නා  කෘෂි රසායනික ද්‍රව්‍යයන්ද සර්පයින්ට තර්ජනයක් ඇති කරනු ලබයි. වගාවන් සදහා යොදා ගන්නා කෘමිනාශක මෙන්ම වල්නාශකද සර්ප ගහණය අඩු කිරීමට හේතු වෙයි. නයිට්‍රිජන් අඩංගු පොහොර වර්ග වල අධි භාවිතයද මොවුනට අහිතකර ලෙස බලපානු ලබයි. මෙම රසායනික ද්‍රව්‍යය තවත් ආකාරයකින් සර්පයින්ගේ ආහාර වන කෘමීන් ගෙම්බන් මීයන් වැනි සතුනගේ ගහණය අඩු කිරිමටද හේතු වේ. 

ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම, වාර්ශික වර්ෂාපතනය අඩුවීම වැනි දේශගුණ වෙනස්වීමද ඇතැම් විශේෂ කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරනු ලබයි. සමහර සර්ප විශේෂ වලට ජීවත් විම සදහා අඩු උෂ්ණත්ව අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස මැඩිල්ලන් (Aspidura spp) , නිහලුවා(Balanophis ceylonensis), දාර රදනකයා (Cercaspis carinatus  ), කුරන් කරවලා(Haplocercus ceylonensis), වැනි විශේෂ වලට ජීවත් විම සදහා 25°C වලට වඩා අඩු උෂ්ණත්ව මෙන්ම තෙතමණයෙන් යුක්ත කොළරොඩු සහිත පරිසරයක් අවශ්‍ය වේ. මෙම තත්ව නොමැති වුවහොත් මොවුන් මිය යෑමට පුලුවන. (de. Silva 1980,1987).
මුහුදු සර්පයින්ට එල්ලවි ඇති ප්‍රබලතම තර්ජනයවන්නේ ධීවරයින් විසින් මරා දැමීමයි. මීට අමතරව තෙල් වැනි ද්‍රව්‍යය නිසා මුහුදු ජලයේ සිදුවන දූෂණයද   මුහුදු සර්පයින්ට අහිතකර ලෙස බලපෑම් ඇති කරයි.  
ශ්‍රි ලංකාව යනු සර්පයින්ගේ විවිධත්වය අධික රටකි. එමෙන්ම මෙරටට ආවේණික වූ විශේෂ බොහොමයක් හමුවේ. නමුත් දියුණු යැයි කියා ගන්නා මිනිසුන් විසින්ම සිදු කරන ක්‍රියා හේතුවෙන්  සර්ප ගහණය සීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී. මේ නිසා බොහොමයක් විශේෂ වද වීමේ තර්ජනයටද මුහුණ පා සිටී. මේ වන විට මෙරට වෙසෙන බොහෝ සර්ප විශේෂ IUCN රතු දත්ත පොතට ඇතුලත්ව ඇත.

2007 රතු දත්ත වාර්තාවට අනුව මෙරට අවදානමට ලක් වී ඇති සර්ප විශේෂ

(Red list of threatened fauna and flora of Sri Lanka 2007)

Critically Endangered –CR

 Gerarda prevostiana  පොවොස්ටිගේ දිය බරියා
 Aspidura deraniyagalae කදු මැඩිල්ලා
 Aspidura drummondhayi කෙටිවල් මැඩිල්ලා

Endangered –EN

Acrochordus granulatus රෙදි නයා දිය ගොයා

Vulnerable –VU

Gongylophis conicus වැලි පිඹුරා
 Cercaspis carinatus  දාර රදනකයා
Chrysopelea taprobanica දගර දන්ඩා
Dendrelaphis caudolineolatus  වයිරි හාල්දන්ඩා
 Liopeltis calamaria පන්බරියා
 Oligodon calamarius   කබර දත්කැටියා
Cerberus rynchops   කුනු දිය කලුවා
 Balanophis ceylonensis  මල් කරවලා නිහලුවා
Echis carinatus  වැළි පොළගා

Near Threatened – NT

Ahaetulla pulverulenta  හෙනකදයා
Boiga barnesii පදුරු මාපිලා
Chrysopelea ornata  පොල්මල් කරවලා
 Dryocalamus nympha ගැට කරවලා
Cylindrophis maculatus දෙපත් නයා වටඋල්ලා
Bungarus ceylonicus  මුදු කරවලා
 Calliophis melanurus  දෙපත් කලුවා
Aspidura brachyorrhos  ලේ මැඩිල්ලා
Aspidura guentheri  කුඩා මැඩිල්ලා
Aspidura trachyprocta දලව මැඩිල්ලා
Macropisthodon plumbicolor  පලාබරියා
 Hypnale nepa   කදුකර මූකලන් තෙලිස්සා

Data Deficient – DD

Argyrogena fasciolata  වල් ගැරඩියා
Boiga beddomei  කහ මාපිලා
 Dendrelaphis oliveri  ඔලිවර්ගේ හාල්දන්ඩා
Dryocalamus gracilis මීගැට කරවලා
Haplocercus ceylonensis කුරන් කරවලා රත් කරවලා
Ramphotyphlops  දුමුටු කණඋල්ලා
Typhlops ceylonicus ස්මිත්ගේ කණඋල්ලා
Typhlops lankaensis ලක් කණඋල්ලා
 Typhlops leucomelas කබර කණඋල්ලා
Typhlops malcolmi මැල්කම්ගේ කණඋල්ලා
Typhlops mirus  හීන් කණඋල්ලා
Typhlops porrectus ස්ටොලික්ස්කාගේ සිහින් කණඋල්ලා
Typhlops tenebrarum ටේලර්ගේ කණඋල්ලා
Typhlops veddae වැද්දාගේ කණඋල්ලා
Typhlops violaceus දම් කණඋල්ලා
Platyplecturus madurensis මදුරාසි  බිංඋල්ලා
Pseudotyphlops philippinus මහ බිංඋල්ලා
Rhinophis blythii ගෝමර තුඩැල්ලා
Rhinophis dorsimaculatus තම්බපන්නි වල්ගා ඇබයා
Rhinophis drummondhayi තපෝ තුඩැල්ලා
Rhinophis erangaviraji  එරංග විරාජ්ගේ තුඩැල්ලා
 Rhinophis homolepis  දෙපත් තුඩැල්ලා
Rhinophis oxyrhynchus උල් තුඩැල්ලා
Rhinophis philippinus කුවියර්ගේ වල්ගා ඇබයා
 Rhinophis porrectus  දික් තුඩැල්ලා
Rhinophis punctatus තිත් තුඩැල්ලා
Rhinophis tricoloratus  දැරණියගලගේ වල්ගා ඇබයා
Uropeltis melanogaster කලු වකටුල්ලා
Uropeltis phillipsi ඉරි වකටුල්ලා
Uropeltis ruhunae රුහුනු වකටුල්ලා

මිට පෙරද සදහන් කල පරිදි සර්පයින් යනු පාරිසරික සමතුලිත තාවය පවත්වාගෙන යෑම සදහා අත්‍යවශ ජීවී කාණ්ඩයකි. මේ නිසා මොවුන් වද වීමට ලක් නොවී ආරක්ෂාකර ගැනීම සදහා සුදුසු සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කල යුතුයි. මිනිසුන් විසින් සර්පයින් බොහෝ දෙනෙකු මරා දමන්නේ ඔවුන් පිළිබදව ඇති නොදැනුවත් කම හේතුවෙනි. එනිසා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම සිසුන් සදහා අධ්‍යාපනික ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේ අවශතාවය පැන නැගී ඇත. එමෙන්ම නිවෙස් තුළට පැමිනෙන  සර්පයින් නොමරා නැවතත් වනාන්තර වලට යොමු කිරිම ඕනෑම පුද්ගලයෙකුට කළ හැකි දෙයකි.
කෙසේ වෙතත් අප පරිසරයෙන් නුදුරු අනාගතයේදිම තුරන් වි යාමට නියමිත මෙම සත්ත්ව කාණ්ඩය ආරක්ෂා කර ගැනීම අප සැමගේම යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.