Saturday, February 15, 2014

ලේ මාපිලා.. (Forsten's Cat Snake)

 ශ්‍රී ලංකාවේ ගොඩක් මිත්‍යා කතා වලට පදනම් වෙච්ච සර්පයෙක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ සර්පයාව ලේ මාපිලා / නාග මාපිලා එහෙමත් නැත්නම් කබර මාපිලා කියලා හදුන්වනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Forsten's Cat Snake කියලා හදුන්වන මෙයාගේ විද්‍යාත්මක නම Boiga forsteni. (Dumeril, Bibron & Dumeril, 1854)
ඒ වගේම මෙයාව මෙන්න මේ විදිහට විද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්.



ලේ මාපිලා /Boiga forsteni දුඹුරු පාට
ලේ මාපිලා /Boiga forsteni දුඹුරු පාට

Kingdom:  Animalia
Phylum:     Chordata
Class:         Reptilia
Order:        Squamata
Suborder:  Serpentes
Family:      Colubridae
Subfamily:      Colubrinae
Genus:          Boiga
ලංකාව හැරුනු කොට නේපාලය , ඉන්දියාව, වගේ රට වලදීත් මෙයාව දැක ගන්න පුලුවන්.
ශ්‍රී ලංකාවේ කන්නෙලිය සිංහරාජය අකුරැස්ස කුමන මින්නේරිය  වගේ පහතරට තෙත් අතරමැදි මෙන්ම වියළි කලාප වලින්ද වාර්තා වෙලා තියෙනවා.
පැහැදිලි ත්‍රිකෝණාකාර හිසක් දරන මෙයාගේ ශරීරය සිහින් දිගටි එකක්. හිස පැහැදිලිව ගෙලෙන් වෙන්වෙලා තියෙනවා.
 පූසෙකුගේ මෙන් විශාල ඇස් පිහිටනවා ඇසේ මැද සිරස්  කණිනිකාවක් පිහිටලා තියෙනවා. විවිධ වර්ණයෙන් යුක්ත නිදර්ශක හමුවී ඇත. දුඹුරු හෝ අලු පැහැයට හුරු ශරීරයේ කලු හෝ සුදු පාට පැල්ලම් දකින්න පුලුවන්. සමහර විට කහ තැඹිලි වර්ණ දරන අතර රතු පාට හරස් ඉරි දැක ගන්න පුලුවන්. බඩ පැත්ත සුදු හෝ ලා කහ පාටින් යුක්තයි.
සිහින් දිගු තියුනු කෙලවරක් සහිත වලිගයක් මේ සර්පයාගේ දැක ගන්න පුලුවන්.
නාග මාපිලා මද විෂ සර්පයෙක්. Ophisthoglyphous ආකාරයේ දළ දැක ගන්න පුලුවන්. මොහුගේ දෂ්ඨනය මාරාන්තික නොවුවත් දෂ්ඨ කල ස්ථානය ඉදිමීම, වේදනාවක් ඇතිවීම වගේ ලක්ෂණ පෙන්නුම් කරන්න පුලුවන්.
නිශාචර රැක්ෂවාසී සර්පයෙක් වෙන නාග මාපිලා දිවා කාලෙට ගස් බෙන ආදී ස්ථාන වල හැංගිලා ඉදලා රාත්‍රියට ක්‍රියාශීලි වෙනවා. බිය වුනාම දගර ගැසිලා වලිගය හකුලා සපා කෑමට පනිනවා.
සෙමින් සංචරණය කරන මේ සර්පයා බොහෝ විට මිනිස් වාසස්ථාන වලට ඇතුලු වූ අවස්ථා වාර්ථා වෙනවා.
බිත්තර මගින් පැටවුන් බෝ වීම සිදු වෙනවා. වැඩුනු සතුන් අගෝස්තු සැප්තැම්බර් වගේ කාල වලදී වරකට බිත්තර 5ත් 10ත් අතර සංඛ්‍යාවක් දමනවා කියලා හොයාගෙන තියෙනවා.
මෙයා මීටර 1.5- 2 ක් දිගකට වැඩෙනවා.
ලේ මාපිලා කුඩා ක්ෂීරපායින් කුරුලු බිත්තර ගෙම්බන් හිකනලුන් මීයන් ආදී සතුන් ආහාරයට ගන්නවා.
ලේ මාපිලන්  හත් ‌දෙ‌නෙකු රාත්‍රියට ඇවිල්ලා  වහ‌ලේ එල්ලිලා  නිදා ගෙන ඉන්න පුද්ගලයින්‌ගේ පාද‌යේ මහපට ඇගිල්ල සිදුරු කර ‌ලේ උරා බොනවා කියලා ගොඩක් ගම්බද පුද්ගලයින් විශ්වාස කරනවා. ‌ ලේ උරා බිබ්වට පස්සේ ‌ලේ හිඟවීම නිසා අදාල පුද්ගලයා නින්‌දේදීම මිය යනවා කියලත් එයාලා හිතාගෙන ඉන්නවා. 
මේක සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්,‌ලේ මාපිලාට එම නම පටබැදෙන්න උ‌ගේ ශරීර වර්ණය දායක වන්නට ඇතැයි හිතන්න පුලුවන්.  ලේ මාපිලා සතුව තියෙන පරිග්‍රාහී වලිගය නිසා යමක එල්ලී සිටී‌මේ හැකියාව තිබුනත් ලේ උරා බීමක් සිදු කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ‌ලේ උරා ‌බොන කිසිදු සර්ප‌යෙක් ලංකාව තුළින් මෙතෙක් වාර්තා වෙලත් නෑ.
ලේ මාපිලා /Boiga forsteni රතු පාට
ලේ මාපිලා /Boiga forsteni රතු පාට
ලේ මාපිලා /Boiga forsteni කලු පාට
ලේ මාපිලා /Boiga forsteni කලු පාට

                                (ඡායාරූප www.superstock.com www.srilankanreptiles.com)

Saturday, February 1, 2014

කටකලුවා... ( Trinket Snake)

 අපේ  රටේ තරමක් විතර බහුලව හම්බුවෙන සර්පයෙක් විදිහට කටකලුවා හදුන්වන්න පුලුවන්. මේ සර්පයා අපේ රටේ වගේම ඉන්දියාව, පකිස්ථානය, නේපාලය , බංගලාදේශය වගේ අනෙකුත් දකුණු ආසියාතික රටවලත් ජීවත් වෙනවා.
  ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමින් 1000m දක්වා වූ   තෙත් අතරමැදි හා වියළි කලාප වලින් මේ සර්පයා හමු වෙලා තියෙනවා. ඉංගීසි භාෂාවෙන් කියලා හදුන්වන මේ සර්පයාව විද්‍යාත්මකව හදුන්වන්නේ Coelognathus Helena (Daudin, 1803) කියලය්. මෙයාව මෙන්න මේ විදිහට ජෛවවිද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්.

කටකලුවා
Trinket Snake
Kingdom:    Animalia
Phylum:      Chordata
Class:          Reptilia
Order:         Squamata
Suborder:    Serpentes
Family:       Colubridae
Subfamily: Colubrinae
Genus:        Coelognathus
ලෝකය පුරා විශේෂයෙන්ම ඉන්දියාවේ මෙයාලගේ උප විෂේශ දෙකක් ජීවත් වෙනවා කියලා සදහන් වෙනවා.
Coelognathus helena helena
Coelognathus helena monticollaris  (Collard Trinket Snake)

කොහොම උනත් මේ දෙවෙනියට සදහන් කල විෂේශය ඉතාමත් කලාතුරකින් ඉන්දියාවේ කදුකර ප්‍රදේශ වලින් හමුවෙන බව තමයි වාර්තා වෙන්නේ.

ටකලුවා මධ්‍යම ප්‍රමානයේ ශරීරයක් දරන තරමක් සිහින් සර්පයෙක්.  කෙටි වලිගයක් තියෙන මේ සර්පයාට පැහැදිලි ගෙලක් පිහිටා තියෙනවා. ඒ වගේම තරමක් විශාල ඇස් වල තද කලුපාට විශාල කනිනිකාවක් පැහැදිලිවම දැක ගන්න පුලුවන්. සෙන්ටිමීටර 80 -120 පමණ දිගකට වර්ධනය වෙනවා.

දුඹුරුපාටට හුරු ශරීරයේ මැද  ප්‍රදේශයේ කලු පාට ඉරක් පිහිටලා තියෙනවා. වැඩුනු සර්පයින් තද දුඹුරු පාටයි.
කොහොම උනත් මේ සර්පයත් විෂ රහිත සර්පයෙක් විදිහට හදුන්නලා දෙන්න පුලුවන්. මෙයා බය වුනාම ප්‍රධාන වශයෙන්ම වේගයෙන් පලා යෑම  සිදු කරනවා. එහෙම බැරි වුනොත් වලිගය වනමින් ශරීරයේ පූර්ව කොටස ඉහලට කරලා මුඛය විවෘත කර පහර දීමට පෙළඹෙනවා. ඒ වගේ වෙලාවට ශරීරයේ ඉහල  කොටස S හැඩයට සකස් වෙලා තියෙනවා බලා ගන්න පුලුවන්. සපා කෑ ස්ථානය ඉදීමීමකට ලක්වෙන්න පුලුවන්, ඇතැම් විටක රුධිර වහනයක් වුනත් සිද්ධ වෙන්න පුලුවන්.

 කට කලුවාගේ මුඛය විවෘත කලාම  කලු පාටින් යුක්තයි. මේ හින්දා මේ සර්පයාට එම නම ලැබෙන්න ඇතැයි කියලා විශ්වාස කරන්න පුලුවන්.


මේ සර්පයා දිවා රාත්‍රී දෙකටම ක්‍රියාශීලී වෙන භෞමික වාසී සර්පයෙක්. ගස් හා පදුරු ආශිතව දැක ගන්න පුලුවන්. තද නියග කාලවලදී ගස් බෙන හා ගුල් වල හැංගිලා ඉන්නවා. ඉතාම වේගවත් සංචරන හැකියාවක්  කටකලුවා සතුව පවතිනවා, බොහෝවිට ජෝඩු වශයෙන් හමුවේ. ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා දිගින් වැඩියි.

 ගෙම්බන් කුරුල්ලන් හිකනලුන් වගේ සත්තු තමයි මෙයාලා වැඩිපුර ආහාරයට ගන්නේ.  

පැටවු බෝ වීම බිත්තර මගින් සිද්ධ වෙනවා. ගැහැනු සතෙක් වරකට බිත්තර 3ත් 12ත් අතර සංඛ්‍යාවක් දානවා . දින 70ත් 90ත් අතර කාලයකට පසුව බිහිවෙන පැටවු 200-250mm අතර දිගකින් යුකුත වෙනවා.

කට කලුවාගේ මුඛය විවෘත කලාම  කලු පාටින් යුක්තයි.
කට කලුවාගේ මුඛය විවෘත කලාම  කලු පාටින් යුක්තයි.

ටකලුවා  මිනිසුන්ට දෂ්ඨ කලාට පස්සේ  අසල තියෙන ගසකට නගින බවත් ‌රෝගියා මිය යන ‌තෙක් ග‌ස උඩට වෙලා ඉදලා ‌රෝගියා මියගියාට පස්සේ පසු ග‌සෙන් බැහැලා  යනවා කියලත් සමහර අය විශ්වාස කරනවා. මේක මිත්‍යා මතයක්, කලිනුත් කිව්වා වගේ කටකලුවා මිනි‌සෙකුට මරණය ‌ගෙන දීමට තරම් විෂ තියෙන සර්පයෙක් නෙමෙයි. ‌භෞමික හා අර්ධ ‌ලෙස රුක්වාසි‌යෙකු වෙන මේ සර්පයා බොහෝ වෙලාවට ගස් උඩ නම් දැක ගන්න නම් පුලුවන්.


 

ජායාරූප- www.ratsnakezone.com   http://farm3.static.flickr.com    www.thegardensofeden.org