Tuesday, July 29, 2014

පලා පොළගා.. Sri Lankan green pit viper


අද අපි කතා කරන්න යන්නේ මුලු ලෝකෙන්ම අපේ රටේ විතරක් හම්බුවෙන පළා පොළගා ගැනයි. Sri Lankan green pit viper, Sri Lankan pit viper, green pit viper වගේ නම් වලින් හදුන්වන මේ සර්පයා විද්‍යාත්මකව   Trimeresurus trigonocephalus  කියලා හදුන්වනවා. මෙයාව මෙන්න මේ විදිහට වැඩිදුරටත් වර්ගීකරණය කරන්න පුලුවන්.
Kingdom:   Animalia
Class:          Reptilia
Subclass:    Lepidosauria
Order:        Squamata
Suborder: Serpentes
Infraorder: Alethinophidia
Family:       Viperidae
Subfamily:   Crotalinae
Genus:       Trimeresurus
ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයේ සහ උස් කදු මුදුන් හැරුනු විට ප්‍රධාන දේශගුණික කලාප තුනේම මේ සර්පයා වාර්තා වෙනවා. නමුත් තෙත් කලාපයේ තෘණභූමි වැසි වනාන්තර ආශ්‍රිතව බහුලවම හමුවෙනවා. එයට අමතරව මුහුදු මට්ටමේ සිට 150 සහ 1800 අතර විහිදී ඇති තේ කෝපි කොකෝවා, කරදමුංගු වගාවන් ආශ්‍රිතවද පලා පොළගා වාර්තා වෙලා තියෙනවා.
පලා පොළගා මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් දරන සාමාණයෙන් 60 75    පමණ ප්‍රමාණයකට දිගින් වැඩෙන සර්පයෙක්. ගැහැනු සතා පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන්
විශාලයි. අනෙකුත් පොලගුන්ගේ මෙන්ම පලා පොළගාගේද පැහැදිලි ත්‍රිකෝණාකාර හිසක් දැක ගන්න පුලුවන්, මේ නිසා හිස පැහැදිලිව ගෙලන් වෙන්වෙලා තියෙනවා. දර්ශීය පලා පොලගෙකුගේ ශරීරය කොල වර්ණයෙන් යුක්ත වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී කොල පාටින් වෙනස් වූ වර්ණ දරන පලා පොලගුන්ද වාර්තා වෙලා තියෙනවා. මෙයාලගේ  ශරීරය පුරා කලු පැහැති රටාවක් දැක ගන්න පුලුවන්. තෙත් කලාපයේ  හමුවන සතුන්ගේ  මෙම කලු පාට රටාව වඩාත් පැහැදිලිව පිහිටලා තියෙනවා.
පලා පොළගා මධ්‍යම ප්‍රමාණයේ විශ සහිත(moderately venomous) සර්පයෙක්. විෂේ ප්‍රධාන ලෙසටම රැධිර සංසරණයට බාධා ගෙන දෙන ධූලක (haemotoxic)අන්තර්ගත වෙනවා. සර්ප දෂ්ඨනයෙන් පසු දෂ්ඨ කල ස්ථානයේ  ඉදිමීමක් මෙන්ම වේදනාවක්ද ඇති වෙනවා.  හෘදයේ සහ වකුගඩු වල අකර්මන්‍යතා ඇත වූ අවස්ථා වාර්තා වෙනවා. කෙසේ නමුත් පලා පොලගෙකුගේ දෂ්ඨනයක් නිසා මරණය සිදුවූ අවස්තා නම් තවම වාර්තා වෙලා නැහැ.
පලා පොළගා රැක් වාසී සර්පයෙක්(arboreal).නමුත් ඇතැම් විට ආහාර සොයා ගැනීම පිණිස පොලවටද බහින අවස්ථා තියෙනවා. උදැසන කාලයේ හිරු එළිය ලැබීම පිණිස වලිගය පටලවා ගෙන අතු මතට වී සිටිනු දැක ගන්න පුලුවන්.
පලා පොළගා එතරම් සටන්කාමී සර්පෙයකු නොවේ. නමුත් තදින් කුපිත කල අවස්ථාවකදී වලිගය සොලවමින් ශරීරයේ ඉදිරි පෙදෙස දගර ගසාගෙන සපා කෑමට පනී.
ජලාබුජ( Vivipary) සර්පෙයක් වන මේ සර්පයා ජුනි ජූලි මාස වලදී වරකට පැටවුන් 25ක් පමණ සංඛ්‍යාවක් බිහි කිරීම සිදු කරනවා. ආහාර වශයෙන් ගෙම්බන් කුඩා ක්ෂීරපායින් මෙන්ම පක්ෂීන්ද දඩයම් කිරීම සිදු කරනවා.
ශ්‍රී ලංකාවට අන්‍යනය වු මේ සර්පයා වද වී යාමට නොදී ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක්.



ඡායාරූප
http://cdn2.arkive.org
http://calphotos.berkeley.edu

Saturday, July 19, 2014

නිදි මාපිලා (Sri Lankan Cat Snake)

අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ තවත් මාපිල් විෂේශයක් ගැනයි. නිදි මාපිලා කියලා සිංහලෙන් හදුන්වන මේ සර්පයව  Sri Lankan Cat Snake යන ඉංග්‍රීසි නාමයෙන්දBoiga ceylonensis යන විද්‍යාත්මක නාමයෙන්ද හදුන්වනවා. මෙයත් ශ්‍රී ලංකාවේ වැඩිම සර්පයින් සංඛ්‍යාවක් අයිති වෙන  Colubridae සර්ප කුලයට අයිති සර්පයෙක්. නිදි මාපිලාව වැඩි දුරටත් මෙන්න මේ විදිහට විද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්.
Kingdom:   Animalia
Phylum:   Chordata
             Class:     Reptilia
Order:    Squamata
Suborder: Serpentes
Family:    Colubridae
Subfamily:  Colubrinae
Genus:  Boiga

ශ්‍රී ලංකාවේ මීටර් 1500 කට වඩා අඩු පහත් බිම් වලත් අසල්වැසි ඉන්දියාවේ බටහිර  ප්‍රදේශ වලත් (Western Ghats) මේ සර්පයාව දැක ගන්න පුලුවන්. මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් දරන නිදි මාපිලා අඩි හතරක් පමණ දිගකට වර්ධනය වෙනවා. හිස පැහැදිලිව ගෙලෙන් වෙන් වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයේ ඇස් මෙන්ම ඒ තුළ පිහිටි තිරස් කනිණිකාවක්ද දැක ගන්න පුලුවන්. පූසෙකුගේ ඇසට සමාන මේ පිහිටීම නිසා Cat Snake යන නම මේ සර්පයාට  ලැබෙන්න ඇතැයි හිතන්න පුලුවන්.

නිදි මාපිලා Boiga ceylonensis

ශරීරය අලු පැහැයට හෝ දුඹුරු පාටට හුරු පැහැයක් ගන්නා අතර තද දුඹුරු කලු පැහැයට හුරු විශාල තිත් ශරීරය පුරා විසිරී පවතිනවා . බද ප්‍රදේශයේදී මේ  තිත් ප්‍රමාණයෙන් විශාල වෙනවා. හිසේ පිහිටා තියන මිනිස් පෙනහැල්ලක හැඩැති කලු පැල්ලමද මුඛය දෙපස සිට ඇස් හරහා දිවෙන තද දුඹුරු කලු රේඛාවද මේ සර්පයා හදුනා ගන්න උදව් වෙනවා.

නිශාචර සර්පයෙක් වෙන නිදි මාපිලා ඉතාමත් කලාතුරකින් දිවා කල  දැක ගන්න පුලුවන්.පදුරු ආශ්‍රිතව දිවි ගෙවන මේ සර්පයා හූනන් මීයන් වැනි සතුන් දඩයම සදහා මිනිස් වාසස්ථාන වලටද පැමිනෙනවා.

තදින් කුපිත වූ අවස්තාවල ශරීරයේ ඉදිරි පෙදෙස දගරයක් ආකාරයට සකස් කරගෙන වලිගයද සොලවමින් සපා කෑමට පනිනවා. වලිගයෙන් ගස්වල එල්ලී සිටීමේ හැකියාවද මෙයාට තියෙනවා.
විශාල ප්‍රමාණයේ ඇස් මෙන්ම ඒ තුළ පිහිටි තිරස් කනිණිකාව.


මධ්‍යම ප්‍රමාණයේ විෂ සහිත(mildly venomous) සර්පයෙක් වෙන නිදි මාපිලා සතුව Ophisthoglyphous ආකාරයේ විෂ දල පිහිටා තිබෙනවා. වැඩුනු ගැහැනු සර්පයෙක් පෙබරවාරි අප්‍රේල් අතර කාල වලදී වරකට බිත්තර 5 ත් 15ත් අතර සංඛ්‍යාවක් දැමීම සිදු කරනවා. වර්ධනය වූ පිරිමි සතුන් සාමාන්‍යයෙන් ගැහැනු සතෙකුට වඩා ප්‍රමාණයෙන් විශාල වෙනවා. නිදි මාපිලා ආහාර ලෙසට මීයන් කුරුල්ලන් හූනන් දඩයම් කිරීම සිදු කරනවා.

 නිදි මාපිලා දෂ්ඨ කළ පසු රෝගියා නින්‌දේදීම මිය යන බවට මිත්‍යා විශ්වාසයක් ඇතැම් මිනිසුන් තුළ පවතිනවා. ‌මොහු නිශාචර සර්ප‌යෙක් නිසා රාත්‍රියට ක්‍රියාශිලී ‌වෙනවා. එනිසා මිනිසුන්ට පහර දීම්ද සිදු වෙන්නෙත් රාත්‍රි කාල‌යටයි. නමුත් නින්‌දේදී මියයන මතය පදනම් විරහිතයි.

තදින් කුපිත වූ අවස්තාවල ශරීරයේ ඉදිරි පෙදෙස දගරයක් ආකාරයට සකස් කරගන්නවා.
තදින් කුපිත වූ අවස්තාවල ශරීරයේ ඉදිරි පෙදෙස දගරයක් ආකාරයට සකස් කරගන්නවා.
වලිගයෙන් ගස්වල එල්ලී සිටීමේ හැකියාවද නිදි මාපිලා සතුයි.
වලිගයෙන් ගස්වල එල්ලී සිටීමේ හැකියාවද නිදි මාපිලා සතුයි.




(ඡායාරූප http://en.wikipedia.org වෙබ් අඩවියෙනි)