Saturday, December 29, 2012

තවත් මාරාන්තික පොළගෙක්- වැළි පොළගා Saw-scaled Viper


අපේ රටින් මාරාන්තික විෂ තියෙන පොළොන් විෂේශ දෙකක් හම්බුවෙනවා කියලා, මීට කලින් දවසක තිත් පොළගා ගැන කියනකොට කිව්වා ඔයාලට මතක ඇතිනේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ එදා කිව්ව අනික් සර්පයා ගැන, එයා තමයි වැළි පොළගා කියලා හදුන්වන සර්ප විෂේශය. මෙයාගේ විද්‍යාත්මක නම Echis carinatus. ඒ වගේම Echis carinatus carinatus (South Indian Saw-scaled Viper) කියලා උප විෂේශයකුත් මෙරටින් හමුවෙනවා.       
උතුරු නැගෙනහිර සහ වයඹ වෙරළබඩ  ප්‍රදේශ වල තමයි මෙයාලා බහුලව හමුවෙන්නේ. අර්ධ වශයෙන් වියළි, වැලි කදු ආශ්‍රිතව ප්‍රදේශ වල මෙම සර්ප විෂේශය ජීවත් වෙනවා. යාපනය, මුලතිව් , කුමන, මන්නාරම, පුත්තලම, යාල ආදී  ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙනවා.
තරමක් මහත  සිලින්ඩරාකාර ශරීරයක් තමයි මෙයාලට තියෙන්නේ. හිස තරමක් පැතලි ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්තයි. අනෙක් සර්පයින්ට සාපේක්ෂව හිස ගෙලෙන්  පැහැදිලි ලෙස වෙන්වෙලා තියෙනවා. මෙයාලගේ  නාස් පුඩු තරමක් කුඩා උනාට ඇස් සාපේක්ෂව විශාලයි. මේ ඇස් වල ඉලිප්සාකාර කණිනිකාවක් පැහැදිලිව දැක ගන්න පුලුවන්. කෙටි වලිගයක් තමයි තියෙන්නේ.
 ශරීරය  ලා දුඹුරු පාටට හුරු කහ පාටයක් ගන්නවා. ඒ වාගේම ශරීරය පුරා සුදු පාට පැල්ලම් සහ සර්පිලාකාර හැඩයෙන් යුක්ත රේඛාවක් දැක ගන්න පුලුවන්. 
රතු පාට දිගු දිවක් මෙයාලට තියෙනවා.

උග්‍ර විෂ සහිත සර් විෂේශයක් විදිහට හදුන්වන්න පුලුවන්. විෂේ ප්‍රධාන අන්තර්ගතය Haemotoxin  වේ. ඒ කියන්නේ වැළි පොළොන් දෂ්ඨනයකට ලක් වුනාම ප්‍රධාන ලෙසටම හානි සිද්ධ වෙන්නේ රුධිර සංසරන පද්ධතියටයි.  සපා කෑ ස්ථානයේ අධික වේදනාවක් හට ගන්නවා. ඒ වගේම විදුරුමස් වලින් ලේ ගැලීමක්ද ඇතිවෙන්න පුලුවන්.
නිසි ප්‍රතිකාර කඩිනමින් ලබා නොදුනහොත් මරණය සිදුවිය හැකියි. මේ හින්දා වැලි පොළොන් දෂ්ඨනයක් සිදුවූ විගසම නිවරදි ප්‍රථමාධාර ලබා දීම සිදුකර වහාම නිවරදි වෛද්‍ය ප්‍රථිකාර සදහා රෝගියා යොමු කරන්න ඕනි.

 මේ සර්ප විෂේශය බොහෝ විට මුහුදු බඩ වැලි ආශ්‍රිතව හමුවෙනවා. බොහෝ වෙලාවට ඉන්නේ  වැලි යට හැංගිලා. නමුත් සමහර වෙලාවට වියළි කොල රොඩු යට ඉදලත් වාර්තා වෙලා තියෙනවා. මෙයාලා ගොඩක් වෙලාවට ඉන්නේ හිස මැදිවන සේ දගර ගසාගෙනයි.
සෙන්ටිමීටර 150 පමණ දිගකට වර්ධනය වෙනවා.
ප්‍රධාන ලෙසට මීයන් ද එයට අමතරව ගෙම්බන් සහ සිකනලුන්ද ආහාරයට ගන්නවා.


වැළි පොළගා  Saw scaled Viper

                                              (ජායාරූපය- www.srilankanreptiles.com වෙබ් අඩවියෙනි.)

Sunday, December 23, 2012

තවත් විෂ සහිත සර්පයෙක්- තිත් පොළගා Russell's Viper


ශ්‍රී ලංකාවේ හම්බුවෙන උග්‍ර විෂ තියෙන සර්පයෝ පස් දෙනා අතරට පොළන්ගු දෙන්නෙක් අයිති වෙනවා. එයාලගෙන් එක් කෙනෙක් වෙන තිත් පොළගා එහෙමත් නැත්නම් තවත් සමහර අය දාර පොළගා කියලා හදුන්වන සර්පයා     ( Russell's Viper)  ගැන තමයා අද කතා කරන්න යන්නේ. Daboia russelii තමයි මෙයාගේ විද්‍යාත්මක නම. Daboia russelii russelii (Indian Russell's viper)    ලෙසට උප විෂේශයක් මෙරටින් හමුවෙනවා.   
තිත් පොළගා මධ්‍යම කදුකරයේ තැනිතලාවල වගේම වියළි කලාපයේ තියෙන ලදු කැලෑවල සහ  තෘණ භූමි වල හමුවෙනවා. ඒ වගේම මේ ප්‍රදේශ වල මිනිස් වාසස්ථාන වලින්ද මේ සර්පයා හමුවෙලා තියෙනවා.
තිත් පොළගාට මහත  සිලින්ඩරාකාර ශරීරයක් තියෙනවා. හිස තරමක් පැතලි ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්තයි. අනිත් සර්පයින්ට සාපේක්ෂව හිස ගෙලෙන්  වෙන්වෙලා තියෙනවා. මේ සර්පයාගේ විශාල නාස් පුඩු දැක ගන්න පුලුවන්. විශාල ඇස් වල ඉලිප්සාකාර කණිනිකාවක් පිහිටනවා.  ඉතා සිහින් වලිගයක් තමයි තිත් පොළගාට තියෙන්නේ.
 මේ විෂඝෝර සර්පයාගේ ශරීරය දුඹුරු පාටට හුරු කහ පාටක් ගන්නවා. තද දුඹුරු පාට තිත් පේළි තුනක් ශරීරය දිගේ පිහිටනවා.  ඒ තිත් වටේ කලු පාට පටියක් දැක ගත ගන්න පුලුවන්.  ශරීරය යටි පැත්ත සුදු පාටට හුරු ලා කහ පාටක් ගන්නවා.
රතු පාට දිගු දිවක් තිත් පොළගාට පිහිටලා තියෙනවා.
 කලින් කිව්වා වගේම තිත් පෙළගා කියන්නේ උග්‍ර විෂ සහිත සර්පයෙක්. මේ සර්පයාගේ දෂ්ඨනයකට පසු සපා කෑ ස්ථානයේ අධික වේදනාවක් හට ගන්නවා. දෂ්ඨ කළ ස්ථානයේ ඉදිමීමක් මෙන්ම රුධිර වහනයක්ද දැකින්න පුලුවන්.  වකුගඩු අක්‍රිය වීම මෙන්ම හෘදයේ අක්‍රිය වීම් ඇතිවෙන්න පුලුවන්. නිසි ප්‍රතිකාර කඩිනමින් ලබා නොදුනහොත් මරණය සිදුවිය හැක. මේ හින්දා තිත් පොළොන් දෂ්ඨනයක් සිදුවූ විගසම නිවරදි ප්‍රථමාධාර ලබා දීම සිදුකර වහාම නිවරදි වෛද්‍ය ප්‍රථිකාර සදහා රෝගියා යොමු කරන්න ඕනි. 
 තිත් පොළගා කියන්නේ භෞමික සර්පයෙක්. රාත්‍රී කාලයට වැඩිපුර ක්‍රියාශීලී වුනත් නමුත් දවල් කාලයටත් දැකගන්න පුලුවන්.  විවෘත තෘණ භූමි ආශ්‍රිතව වැඩිපුර හමුවෙනවා.
මේ  සර්පයා මීයන් වැනි සතුන් ආහාරයට ගැනීම සදහා කෘෂිබිම් වලට පැමිනෙනවා. මේ නිසා සිදුවූ පහර දීම් බොහෝ විට වාර්තා වෙනවා.  සෙන්ටිමීටර් 150ක්  පමණ දිගකට වැඩෙනවා.
තිත් පොළගා ප්‍රධාන ලෙසටම මීයන් ආහාරයට ගන්නවා මීට අමතරව සිකනලුන් පක්ෂීන් වගේම කුඩා ක්ෂීරපායින් සතුන්ද ආහාරයට ගන්නවා.

තිත් පොළගා Russell's Viper