Monday, April 15, 2013

සර්පයින්‌ගෙන් අපිට උදව්....???


අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් නොදන්න කාරණාවක් ගැන. ඒ තමයි සර්පයන්ගෙන් අපිට ලැබෙන උදව් ගැන. ගොඩක් අය හිතන්න පුලුවන් සර්පයින්ගෙන් අපිට මොන උදව්ද? සර්පයින්ගෙන් අපිට ලැබෙන්නේ කරදර විතරක් කියලා. එහෙම හිතන්න එපා. සර්පයින්ගෙන් මිනිස්සු වෙන අපිට විතරක් නෙමෙයි අනෙක් සත්තුන්ටත් ලොකු මෙහෙයක් ඉටු වෙනවා.
මිහිතලය මත වසන සෑම සත්ව ‌කොට්ඨාශයක් ‌වගේම සර්පයින්ද මිහිතලයේ පැවැත්මට යම්‌ ‌මෙ‌හෙයක් ඉටු කරනවා. ලංකා‌ව කියන්නේ ‌‌ෙ‌ජෙවවිවිධත්වය අතින් ලෝකයේ අනෙක් ගොඩක් රටවල් වලට වඩා ඉදිරියෙන් ඉන්න රටක්. ඉතින් ලංකාවේ මෙන්න මේ කියන ‌‌ෙ‌ජෙවවිවිධත්වය ඉහල දාන්න සර්පයින්‌ගේ දායකත්වය අත්‍යාවශ්‍ය ‌වෙනවා.
ඒ වගේම ලංකාව කියන්නේ ඈත අතීත‌යේ ඉදලම කෘෂිකාර්මික රටක්. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තියෙන ලොකු ගැටලුවක් තමයි විලෝපිකයින් ගෙන් වගාවන්ට සිද්දවෙන හානිය. විශේෂයෙන්ම මීයන් වගේම අනෙකුත් කෘමි සත්තුන් ගෙනුත් ලොකු හානියක් සිද්දවෙනවා.
සර්පයින් කියන්නේ ආහාර දාම වල අවසාන මට්ටම් වල යැ‌පෙන්නන්. මේ හින්දා සර්පයෝ මීයන් වගේම වගාවන්ට හානි කරන විවිධ කෘමි සත්තු ආහාරයට ගන්නවා. ඒක හින්දා ඒ සතුන්ගේ ‌බෝ වීම පාලනය ‌‌වෙනවා. එයින් වගාවන්ට විශාල ‌ලෙස පාඩු සිදු වීම වැළ‌කෙනවා.
 වගාවන්ට හානි කරනවට අමතරව මීයන් නිසා මී උණ වැනි වගේ වසංගත තත්වයන් පැතිරිලා යනවා. ඔයාලා කවුරුත් දන්නවා ඇති මී උණ කියන්නේ මාරාන්තික ලෙඩක්. ඉතින් සර්පයින් විසින් මේ දරුණු රෝගය පතුරුවන මීයන් ‌ගොදුරු කර ගන්නවා. ඒක මේ වසංගතය මර්ධනය කරන්න ලොකු පිටිවහලක් ‌ෙවනවා.
ඔයාලා ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති ඔයාලා ඇතැම් ලෙඩ වලට ගන්න බෙහෙත් හදලා තියෙන්නේ සර්පයින්ගේ විෂ යොදාගෙන කියලා. ‌ෙ‌වෙද්‍ය විද්‍යාවේ බෙහෝ ඖෂධ නිපදවන්න සර්පයින් උප‌යෝගී කර ගන්නවා. ‌බොහෝ විට සර්පයින් දෂ්ඨ කල විට ලබා ‌දෙන ප්‍රති විෂ ( Anti venom  ) නිෂ්පාදනය කරන්න ‌‌යොදා ගන්නේ සර්ප විෂයි.
පිළිකා, සරම්ප, හි‌මෝෆීලියාව, ස්නායු ‌රෝග, ලාදුරු, රූමටික උණ, මහාමාරිය, ඇදුම වැනි ‌රෝග වැලදුන රෝගීන්ගේ ජීවිත බේරා ගන්න මර්ධනය කළ සර්ප විෂ ‌යොදා ගන්නවා.
ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල විවිධ ජන ‌කොට්ඨාශ වල ජීවිකාව සර්පයින් මත රැදිලා ති‌යෙනවා. වි‌ශේෂ‌යෙන්ම අහිගුන්ඨක ජන ‌කොධ්ඨා   නයින් නැටවීම මගින් තම ජීවිකාව පවත්වා ගෙන යනවා.
ඉතින් මේ කිව්වේ සර්පයින්ගෙන් මිනිස්සු වෙන අපිට ලැබෙන වාසි කිහිපයක් විතරයි. සර්පයෝ අපිට මෙච්චර උදව් කරලත් අපේ ගොඩක් දෙනා තුළ සර්පයෝ ගැන තියෙන ආකල්පය නම් එච්චර හොද එකක් නෙමෙයි කියලයි මම හිතන්නේ.

Saturday, February 16, 2013

හොමොලොප්සිඩේ කුළය Family Homalopsidae


Family Homalopsidae            

පසුගිය දවස් වල සර්පයෝ අයිතිවෙන කුළ ගැන කතා කරමින් හිටියා ඔයගොල්ලන්ට මතක ඇතිනේ, ඉතින් ගොඩක් දවසකට පස්සේ අද තවත් සර්ප කුළයක් ගැන කතා කරන්න හිතුවා. ලෝකය පුරා  කුළ 19කට (David & Ineich,1999) අයිති සර්පයෝ හිටියත් ලංකාවේ සර්පයෝ අයිතිවෙනනේ කුළ 11කට විතරයි. අද අපි කතා කරන්නේ  මේ කුළ අතරින් Homalopsidae කියන සර්ප කුළය ගැන.

මෙම කුලයට අයත් සර්ප විෂේශ 3 ක් වගේ සුලු සංඛ්‍යාවක් විතරයි ලංකාව තුළදී හමුවෙන්නේ.  කොහොම වුනත් මේ මෑත කාලයක් වෙනකන් මේ සර්ප විෂේශ තුනත් දාලා තිබුනේ  Colubridae කියන සර්ප කුළයට. නමුත් පස්සේ කාලෙකදී මෙයාලගේ දකින්න පුලුවන් වෙනස්කම් සැලකිල්ලට ගත්ත විද්‍යාඥයෝ මෙයාලව වෙනත් කුළයකට දාන්න තීරණය කලා.

 මෙම කුළයට අයත් සර්ප විෂේශ මධ්‍යම ප්‍රමාණයේ ශරීර දරනවා. ඒ වගේම මෙයාලා සියලුම දෙනා ජලජ වාසීන්. මිරිදියේ ජීවත් වෙනවා. කුනුදිය කලුවා( Cerberus rynchops ) Dog-faced Water Snake
දේදුනු දිය බරියා (Enhydris enhydris) Rainbow Mud Snake   
ප්‍රොවොස්ටිගේ දිය බරියා (Gerarda prevostiana  ) Glossy Marsh Snake  
මෙම කුලයට අයත් සර්ප විෂේශ තුන විදිහට හදුන්වන්න පුලුවන්. මේ සර්ප විෂේශ තුනම විෂ රහිත සර්පයෝ විදිහටයි සලකන්නේ. කොහොම වුනත් මේ සර්පයෝ වාර්තා වෙලා තියෙන්නේ බොහොම කලාතුරකින්. ඒ කියන්නේ මෙයාලගේ සංඛ්‍යාව බොහොම පොඩ්ඩයි. මේ හින්දා මෙයාලා වද වීමේ තර්ජනයටත් මුහුනපාලා ඉන්නවා. ඉතින් මෙයාලා වද වීමට නොදී ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්.

කුනුදිය කලුවා (Cerberus rynchops) Dog faced Water Snake

(ජායාරූපය ඇනස්ලම්ද සිල්වා මහතාගේ Snakes of Sri Lanka” ග්‍රන්ථයෙන්)

Saturday, January 12, 2013

සර්ප දෂ්ඨනයෙන් වැලකී සිටින්නේ කෙසේද? (දෙවන කොටස)


එදා අපි සර්ප දෂ්ඨනයෙන් වැලකී සිටීම පිළිබද මූලික කරුනු කතා කලා මතක ඇතිනේ, බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහිල්ලා බලලා එන්නකෝ.


එදා කිව්ව එවට අමතරව තවත් වැදගත් දෙයක් තමයි තමන්ගේ නිවාස ආශ්‍රිතව එළි පෙහෙලි කරලා කුණු ගොඩවල් ඉවත් කරලා පිරිසිදුව තබා ගන්න එක. එතකොට කැලෑවල ඉන්න සර්පයෝ නිවාස ආශ්‍රයට පැමිනීම අඩුවෙනවා. බොහෝවිට මේ කුණුගොඩවල් වල මීයන් වගේ සත්තු ජීවත් වෙන හින්දා සර්පයින් ඔවුන්ව ආහාරයට ගන්න නිවාස අසලට පැමිනෙනවා. මේ වගේ අවස්තාවල මිනිසුන්ට පහරදීම් සිදුවෙන්න පුලුවන්.
 කුඩා ළමයි සෙල්ලම් කරන කොට සර්ප දෂ්ඨනයන්ට ලක්වුන අවස්ථා වාර්තා වෙනවා. මේ හින්දා දෙමාපියන් ඒ පිළිබදව අවදානයෙන් සිටීමත් වැදගත් වෙනවා. විෂේශයෙන්ම කැලෑ සහිත ප්‍රදේශ වල ළමුන් සෙල්ලම් කිරීමේ දී ප්‍රවේශම් වෙන්න ඕනි.
මැරුනු  විෂ සහිත සර්පයින්  ඇල්ලීමෙන් වැළකී සිටීමත් වැදගත් කරුනක්, සමහර සර්ප විෂේශ තම විලෝපිකයින්ගෙන් ආරක්ෂාවෙන්න මැරුන විදිහට ඉන්න අවස්ථා දැක ගන්නත් පුලුවන් ඉතින් මේ වගේ වෙලාවක අපි සර්පයව ඇල්ලුවොත් සර්පයා අනිවාර්යෙන්ම අපිට පහර දෙනවා.
විෂ සහිත වෘක්ෂවාසී සර්ප විෂේශත් සිටින නිසා ගස් නැගීම, ගස් වල අතු කැපීම වගේ වැඩ වලදීත් ප්‍රවේශම් වීම වැදගත්.
මුහුදු සර්පයින් නිසා සිදුවෙන දෂ්ඨ කිරීම් කාලාතුරකින් වාර්තා වුවත් මුහුදු සර්පයෝ කියන්නේ උග්‍ර විෂ සහිත සර්ප විෂේශ නිසා ප්‍රවේශම් වීම බොහොම වැදගත්. මේ අවදානම වැඩිපුරම තියෙන්නේ ධීවරයන්ට. ධීවරයින් තම මාලු දැල් වලට අහුවෙන සර්පයින් ඉවත් කිරීමට යාමේදී ඔවුන්ගේ දෂ්ඨනයන්ට ලක්වෙන්න පුලුවන්, මේ නිසා වඩාත් ආරක්ෂාකාරීව කටයුතු කිරීම වැදගත්. 
කොහොම වුනත් දැන් නම් ගොඩක් ධීවරයෝ මේ වගේ මුහුදු සර්පයෙක් දැලට අහු වුනාම ඔවුන්ව මරන්න පුරුදු වෙලා ඉන්නවා කියලා තමයි දැන ගන්න තියෙන්නේ. මේක නම් කොහොමවත් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.
සර්පයෝ මරා දැමීම මගින් සර්පයෝ අඩුකරලා දාලා සර්ප දෂ්ඨනයෙන් මිදෙන්න පුලුවන් කියලා කවුරුහරි හිතාගෙන ඉන්නවනම් ඒක වැරදි දෙයක් බවත් සදහන් කරන්න ඕනි.
ඔය කොච්චර දේවල් කිව්වත් බැරිවෙලාවත් සර්පයෙක් දෂ්ඨ කලොත් අපි මොනව කරන්නද ඉතින් නේද? බය වෙන්න එපා සර්පයෙක් දෂ්ඨ කලොත් ලබා දෙන්න ඕනි නිවරදි ප්‍රඨමාධාර ක්‍රම ගැනත් ඉදිරියේදී තොරතුරු අරගෙන එන්න හිතාගෙන ඉන්නවා..



Friday, January 4, 2013

සර්ප දෂ්ඨනයෙන් වැලකී සිටින්නේ කෙසේද?


ලැබුවා වූ නව වසර හැම දෙනාටම සුභම සුභ නව වසරක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්දේ  අපි කතා කරන්න යන්නේ හැමදෙනෙකුටම ගොඩක් වැදගත්වෙන මාතෘකාවක් වෙන සර්ප දෂ්ඨනයෙන් වැලකිලා ඉන්නේ කොහොමද කියන එක ගැන.
මම නම් හිතන්නේ බොහොමයක් සර්ප දෂ්ඨනයන් වෙන්නේ අපේම වැරැද්දෙන් එහෙමත් නැත්නම් අපේම නොසැලකිල්ල නිසා කියලයි. මේක කොයිතරම් දුරට නිවරදිද කියන එක ඔයාලම හිතලා බලන්න.
සර්පයින් මිනිසුන්ට දෂ්ඨ කිරීමට ප්‍රධානතම හේතු වන්නේ මිනිසුන් සර්පයින්ට හිරිහැර කිරීමට යෑම, ඔවුන්ගේ වාසස්ථාන වලට කරදර කිරීම  මෙන්ම ආහාර සොයා යනවිට බාධා කිරීම වගේ මිනිස් ක්‍රියාකාරකම්.
සර්පයනුත් අනෙක් බොහොමයක් සත්ත්ව විෂේශ වගේම තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇතැයි හැගුනු විට දෂ්ඨ කිරීමට පෙලඹෙනවා.  ගොඩක් වෙලාවට සර්පයින් ආහාර සොයාගෙන යන කොට ඒ මාර්ගය අවහිර වෙන විදිහට මිනිසුන් ගමන් කිරිම හෝ ඒ කාර්යයට බාධා කිරීම නිසා, සර්පයා විසින් ගොදුර කියලා වැරදීමකින් මිනිසාට පහරදීමට පෙළඹෙන්න පුලුවන්.
පහත සදහන් කරලා තියෙන කරුනු පිළිබදව සැලකිළිමත් වීමෙන් පහසුවෙන්ම සර්ප දෂ්ඨන වලින් වැලකී සිටීමට ඔයාලටත් හැකියාවක් ලැබෙයි.
සර්ප දෂ්ඨන වලින් 70% පමණ  සිදුවෙන්නේ පාදයේ වලලුකරෙන් පහල කොටසේයි. මේ නිසා අවදානමක් සහිත ප්‍රදේශ වල ගමන් කිරීමේදී විමසිලිමත්ව ගමන් කිරීම. හැකියාවක් තියෙනවානම් බූට්ස් පැළද යාමත් හොද ආරක්ෂිත ක්‍රියාමාර්ගයක්. මෙතනදී මම අවදානම්  ප්‍රදේශ කියලා හැදින්වූයේ උසට වැඩුනු තණකොළ, පදුරු තියෙන  ප්‍රදේශ වගේම වනාන්තර වගේ මාර්ගය හොදින් පේන්නැති මාර්ග.
 ඒ වගේම රාත්‍රී කාලයට ගමන් යන විට විදුලි පන්දමක් හෝ සුදුසු ආලෝකයක් රැගෙන යාම අනිවාර්යෙන්ම කරන්න ඕනි දෙයක්. එසේම ලී කැබැල්ලකින් පොළවට තට්ටු කරමින් යන එකත් සර්ප දෂ්ඨනයෙන් වැලකී සිටිමට උපකාර වෙනවා. සර්පයින්ට කන් ඇහුනේ නැත් වුනාට ගමන් කරන පෘෂ්ඨය දිගේ පැමිනෙන ශබ්ද තරංග වලට ප්‍රතිචාර දැක්විය හැකි නිසා ඔවුන් මාර්ගයෙන් ඉවත් වෙනවා.
සර්පයින් ගොඩක් වෙලාවට දවල් කාලයේ  ගස් බෙන, හුඹස් , ගල් අතර වගේම පොළවේ ඇති විවර වල හැංගිලා ඉන්නවා. මේ නිසා මේවා තුළට අත දැමීමෙන් වැලකිලා ඉන්න ඕනි. එහෙමත් නැත්නම් කෝටු කැබැල්ලක් වැනි දෙයක් උපයෝගීකරගෙන ඉතාමත් ප්‍රවේශමෙන් කරන්න ඕනි.
කැලෑ එළි පෙහෙලි කිරීම, තෘණ කැපීම වැනි ක්‍රියා වල යෙදී ඉන්න කොටත් සර්ප දෂ්ඨනයන්ට ලක්වීමේ අවදානමක් තියෙන හින්දා ප්‍රවේශමෙන් එම ක්‍රියාවල නිරතවීම වැදගත්.
අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශ වලින් ගොඩ ගසා ඇති දර ගොඩවල් වලින් දර ගැනීමේදී හා දර එකතු කිරීමේදී සිදුවෙන සර්ප දෂ්ඨනයන් නිරන්තරයෙන් වාර්තා වෙනවා. මේ හින්දා එවැනි ක්‍රියා වල නිරතවෙන කොට තරමක් අවධානයෙන් ප්‍රවේශමෙන් කටයුතු කිරීමෙන් එවැනි අනතුරු වලින් බේරෙන්න පුලුවන්. සර්පයින්ගෙන් ආරක්ෂා වෙන එක ගැන නම් කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒ තොරතුරු අරගෙන තවත් දවසක, දෙවෙනි කොටසින් හමුවෙන්නම්කෝ..