Saturday, February 15, 2014

ලේ මාපිලා.. (Forsten's Cat Snake)

 ශ්‍රී ලංකාවේ ගොඩක් මිත්‍යා කතා වලට පදනම් වෙච්ච සර්පයෙක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ සර්පයාව ලේ මාපිලා / නාග මාපිලා එහෙමත් නැත්නම් කබර මාපිලා කියලා හදුන්වනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Forsten's Cat Snake කියලා හදුන්වන මෙයාගේ විද්‍යාත්මක නම Boiga forsteni. (Dumeril, Bibron & Dumeril, 1854)
ඒ වගේම මෙයාව මෙන්න මේ විදිහට විද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්.



ලේ මාපිලා /Boiga forsteni දුඹුරු පාට
ලේ මාපිලා /Boiga forsteni දුඹුරු පාට

Kingdom:  Animalia
Phylum:     Chordata
Class:         Reptilia
Order:        Squamata
Suborder:  Serpentes
Family:      Colubridae
Subfamily:      Colubrinae
Genus:          Boiga
ලංකාව හැරුනු කොට නේපාලය , ඉන්දියාව, වගේ රට වලදීත් මෙයාව දැක ගන්න පුලුවන්.
ශ්‍රී ලංකාවේ කන්නෙලිය සිංහරාජය අකුරැස්ස කුමන මින්නේරිය  වගේ පහතරට තෙත් අතරමැදි මෙන්ම වියළි කලාප වලින්ද වාර්තා වෙලා තියෙනවා.
පැහැදිලි ත්‍රිකෝණාකාර හිසක් දරන මෙයාගේ ශරීරය සිහින් දිගටි එකක්. හිස පැහැදිලිව ගෙලෙන් වෙන්වෙලා තියෙනවා.
 පූසෙකුගේ මෙන් විශාල ඇස් පිහිටනවා ඇසේ මැද සිරස්  කණිනිකාවක් පිහිටලා තියෙනවා. විවිධ වර්ණයෙන් යුක්ත නිදර්ශක හමුවී ඇත. දුඹුරු හෝ අලු පැහැයට හුරු ශරීරයේ කලු හෝ සුදු පාට පැල්ලම් දකින්න පුලුවන්. සමහර විට කහ තැඹිලි වර්ණ දරන අතර රතු පාට හරස් ඉරි දැක ගන්න පුලුවන්. බඩ පැත්ත සුදු හෝ ලා කහ පාටින් යුක්තයි.
සිහින් දිගු තියුනු කෙලවරක් සහිත වලිගයක් මේ සර්පයාගේ දැක ගන්න පුලුවන්.
නාග මාපිලා මද විෂ සර්පයෙක්. Ophisthoglyphous ආකාරයේ දළ දැක ගන්න පුලුවන්. මොහුගේ දෂ්ඨනය මාරාන්තික නොවුවත් දෂ්ඨ කල ස්ථානය ඉදිමීම, වේදනාවක් ඇතිවීම වගේ ලක්ෂණ පෙන්නුම් කරන්න පුලුවන්.
නිශාචර රැක්ෂවාසී සර්පයෙක් වෙන නාග මාපිලා දිවා කාලෙට ගස් බෙන ආදී ස්ථාන වල හැංගිලා ඉදලා රාත්‍රියට ක්‍රියාශීලි වෙනවා. බිය වුනාම දගර ගැසිලා වලිගය හකුලා සපා කෑමට පනිනවා.
සෙමින් සංචරණය කරන මේ සර්පයා බොහෝ විට මිනිස් වාසස්ථාන වලට ඇතුලු වූ අවස්ථා වාර්ථා වෙනවා.
බිත්තර මගින් පැටවුන් බෝ වීම සිදු වෙනවා. වැඩුනු සතුන් අගෝස්තු සැප්තැම්බර් වගේ කාල වලදී වරකට බිත්තර 5ත් 10ත් අතර සංඛ්‍යාවක් දමනවා කියලා හොයාගෙන තියෙනවා.
මෙයා මීටර 1.5- 2 ක් දිගකට වැඩෙනවා.
ලේ මාපිලා කුඩා ක්ෂීරපායින් කුරුලු බිත්තර ගෙම්බන් හිකනලුන් මීයන් ආදී සතුන් ආහාරයට ගන්නවා.
ලේ මාපිලන්  හත් ‌දෙ‌නෙකු රාත්‍රියට ඇවිල්ලා  වහ‌ලේ එල්ලිලා  නිදා ගෙන ඉන්න පුද්ගලයින්‌ගේ පාද‌යේ මහපට ඇගිල්ල සිදුරු කර ‌ලේ උරා බොනවා කියලා ගොඩක් ගම්බද පුද්ගලයින් විශ්වාස කරනවා. ‌ ලේ උරා බිබ්වට පස්සේ ‌ලේ හිඟවීම නිසා අදාල පුද්ගලයා නින්‌දේදීම මිය යනවා කියලත් එයාලා හිතාගෙන ඉන්නවා. 
මේක සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්,‌ලේ මාපිලාට එම නම පටබැදෙන්න උ‌ගේ ශරීර වර්ණය දායක වන්නට ඇතැයි හිතන්න පුලුවන්.  ලේ මාපිලා සතුව තියෙන පරිග්‍රාහී වලිගය නිසා යමක එල්ලී සිටී‌මේ හැකියාව තිබුනත් ලේ උරා බීමක් සිදු කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ‌ලේ උරා ‌බොන කිසිදු සර්ප‌යෙක් ලංකාව තුළින් මෙතෙක් වාර්තා වෙලත් නෑ.
ලේ මාපිලා /Boiga forsteni රතු පාට
ලේ මාපිලා /Boiga forsteni රතු පාට
ලේ මාපිලා /Boiga forsteni කලු පාට
ලේ මාපිලා /Boiga forsteni කලු පාට

                                (ඡායාරූප www.superstock.com www.srilankanreptiles.com)

Saturday, February 1, 2014

කටකලුවා... ( Trinket Snake)

 අපේ  රටේ තරමක් විතර බහුලව හම්බුවෙන සර්පයෙක් විදිහට කටකලුවා හදුන්වන්න පුලුවන්. මේ සර්පයා අපේ රටේ වගේම ඉන්දියාව, පකිස්ථානය, නේපාලය , බංගලාදේශය වගේ අනෙකුත් දකුණු ආසියාතික රටවලත් ජීවත් වෙනවා.
  ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමින් 1000m දක්වා වූ   තෙත් අතරමැදි හා වියළි කලාප වලින් මේ සර්පයා හමු වෙලා තියෙනවා. ඉංගීසි භාෂාවෙන් කියලා හදුන්වන මේ සර්පයාව විද්‍යාත්මකව හදුන්වන්නේ Coelognathus Helena (Daudin, 1803) කියලය්. මෙයාව මෙන්න මේ විදිහට ජෛවවිද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්.

කටකලුවා
Trinket Snake
Kingdom:    Animalia
Phylum:      Chordata
Class:          Reptilia
Order:         Squamata
Suborder:    Serpentes
Family:       Colubridae
Subfamily: Colubrinae
Genus:        Coelognathus
ලෝකය පුරා විශේෂයෙන්ම ඉන්දියාවේ මෙයාලගේ උප විෂේශ දෙකක් ජීවත් වෙනවා කියලා සදහන් වෙනවා.
Coelognathus helena helena
Coelognathus helena monticollaris  (Collard Trinket Snake)

කොහොම උනත් මේ දෙවෙනියට සදහන් කල විෂේශය ඉතාමත් කලාතුරකින් ඉන්දියාවේ කදුකර ප්‍රදේශ වලින් හමුවෙන බව තමයි වාර්තා වෙන්නේ.

ටකලුවා මධ්‍යම ප්‍රමානයේ ශරීරයක් දරන තරමක් සිහින් සර්පයෙක්.  කෙටි වලිගයක් තියෙන මේ සර්පයාට පැහැදිලි ගෙලක් පිහිටා තියෙනවා. ඒ වගේම තරමක් විශාල ඇස් වල තද කලුපාට විශාල කනිනිකාවක් පැහැදිලිවම දැක ගන්න පුලුවන්. සෙන්ටිමීටර 80 -120 පමණ දිගකට වර්ධනය වෙනවා.

දුඹුරුපාටට හුරු ශරීරයේ මැද  ප්‍රදේශයේ කලු පාට ඉරක් පිහිටලා තියෙනවා. වැඩුනු සර්පයින් තද දුඹුරු පාටයි.
කොහොම උනත් මේ සර්පයත් විෂ රහිත සර්පයෙක් විදිහට හදුන්නලා දෙන්න පුලුවන්. මෙයා බය වුනාම ප්‍රධාන වශයෙන්ම වේගයෙන් පලා යෑම  සිදු කරනවා. එහෙම බැරි වුනොත් වලිගය වනමින් ශරීරයේ පූර්ව කොටස ඉහලට කරලා මුඛය විවෘත කර පහර දීමට පෙළඹෙනවා. ඒ වගේ වෙලාවට ශරීරයේ ඉහල  කොටස S හැඩයට සකස් වෙලා තියෙනවා බලා ගන්න පුලුවන්. සපා කෑ ස්ථානය ඉදීමීමකට ලක්වෙන්න පුලුවන්, ඇතැම් විටක රුධිර වහනයක් වුනත් සිද්ධ වෙන්න පුලුවන්.

 කට කලුවාගේ මුඛය විවෘත කලාම  කලු පාටින් යුක්තයි. මේ හින්දා මේ සර්පයාට එම නම ලැබෙන්න ඇතැයි කියලා විශ්වාස කරන්න පුලුවන්.


මේ සර්පයා දිවා රාත්‍රී දෙකටම ක්‍රියාශීලී වෙන භෞමික වාසී සර්පයෙක්. ගස් හා පදුරු ආශිතව දැක ගන්න පුලුවන්. තද නියග කාලවලදී ගස් බෙන හා ගුල් වල හැංගිලා ඉන්නවා. ඉතාම වේගවත් සංචරන හැකියාවක්  කටකලුවා සතුව පවතිනවා, බොහෝවිට ජෝඩු වශයෙන් හමුවේ. ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා දිගින් වැඩියි.

 ගෙම්බන් කුරුල්ලන් හිකනලුන් වගේ සත්තු තමයි මෙයාලා වැඩිපුර ආහාරයට ගන්නේ.  

පැටවු බෝ වීම බිත්තර මගින් සිද්ධ වෙනවා. ගැහැනු සතෙක් වරකට බිත්තර 3ත් 12ත් අතර සංඛ්‍යාවක් දානවා . දින 70ත් 90ත් අතර කාලයකට පසුව බිහිවෙන පැටවු 200-250mm අතර දිගකින් යුකුත වෙනවා.

කට කලුවාගේ මුඛය විවෘත කලාම  කලු පාටින් යුක්තයි.
කට කලුවාගේ මුඛය විවෘත කලාම  කලු පාටින් යුක්තයි.

ටකලුවා  මිනිසුන්ට දෂ්ඨ කලාට පස්සේ  අසල තියෙන ගසකට නගින බවත් ‌රෝගියා මිය යන ‌තෙක් ග‌ස උඩට වෙලා ඉදලා ‌රෝගියා මියගියාට පස්සේ පසු ග‌සෙන් බැහැලා  යනවා කියලත් සමහර අය විශ්වාස කරනවා. මේක මිත්‍යා මතයක්, කලිනුත් කිව්වා වගේ කටකලුවා මිනි‌සෙකුට මරණය ‌ගෙන දීමට තරම් විෂ තියෙන සර්පයෙක් නෙමෙයි. ‌භෞමික හා අර්ධ ‌ලෙස රුක්වාසි‌යෙකු වෙන මේ සර්පයා බොහෝ වෙලාවට ගස් උඩ නම් දැක ගන්න නම් පුලුවන්.


 

ජායාරූප- www.ratsnakezone.com   http://farm3.static.flickr.com    www.thegardensofeden.org

Tuesday, January 14, 2014

මල්සරා..... (Ornate Flying Snake)


ශ්‍රී ලංකාවේදී හමුවෙන සර්පයින් අතරින් ගොඩක් ලස්සන සර්පයෙක් විදිහට මල්සරාව එහෙමත් නැත්නම් පොල්මල් කරවලාව හදුන්වන්න පුලුවන්.  
ඉංග්‍රීසියෙන් golden tree snake, gliding snake, ornate flying snake, golden flying snake,  gold and black tree snake, flying tree snake වගේ නම් ගොඩකින් මෙයාව හදුන්වනවා.
Chrysopelea ornata  (Shaw, 1802)කියන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මේ සර්පයා මේ විදිහට විද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්.

Kingdom:             Animalia
Phylum:               Chordata
Subphylum:        Vertebrata
Class:                    Reptilia
Order:                  Squamata
Suborder:            Serpentes
Family:                 Colubridae
Subfamily:           Colubrinae
Genus:                 Chrysopelea
Species:               C. ornate
ලෝකය පුරා මෙයාලගේ ප්‍රධාන උප විෂේශ 3ක් හමුවෙනවා.
Chrysopelea ornata ornata (Shaw, 1802)
Chrysopelea ornata ornatissima (Werner, 1925)
Chrysopelea ornata sinhaleya (Deraniyagala, 1945)

ලංකාවේ තෙත් අතරමැදි හා වියළි කලාප වල දැක ගන්න පුලුවන්. බලංගොඩ ගාල්ල  යාල පුත්තලම  ප්‍රදේශ වලින්ද හමුවෙලා තියෙනවා.
Chrysopelea ornata සාමාන්‍යයෙන් කොළ පාටට හුරු ශරීර වර්ණයක් දැරුවත් ලංකාවේ හමුවෙන මල්සරා ගොඩක් ලස්සනයි. ශරීර වර්ණය පුෂ්ඨියව කලු පාටක් ගන්නවා. එහි හරස් අතට කහ පැහැති පේලි දැක ගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ශරීරය මධ්‍යයෙහි රතු පාට තිත් ද සමහර අවස්ථා වල කහ පැහැති තිත්ද දැක ගන්න පුලුවන්. මේ විදිහට වර්ණවත් ශරීරයක් තියෙන හින්දා මෙයාව පහසුවෙන් වෙනත් සර්පයෙකුගෙන් වෙන් කරලා අදුර ගන්න පුලුවන්.


පැතලි හිසක් සහ හැකිලුනු ගෙලක් මේ සර්පයාගෙන් දැක ගන්න පුලුවන්. ඇසේ විශාල රවුම් කනිකාවක් පිහිටනවා. මෙයාලා සෙන්ටිමීටර 80- 120 පමණ දිගකට වැඩෙනවා.
මද විෂ  සහිත සර්පයෙක් විදියට තමයි පොල්මල් කරවලාව හදුන්වන්නේ.මෙයාලා නිතරම ගස් හා පදුරු අතර වාසය කරනවා.
සමහර වෙලාවට ගස් වල තරමක් උසින් තියෙන අතු වලත් මෙයාලා දැක ගන්න පුලුවන්. උස ස්ථානයක ඉදලා පහල ස්ථානයකට පැනීමේ හැකියාවකුත් මෙයාලට තියෙනවා. මේ හින්දා මෙයාලට Flying Snake කියලා නම හැදෙන්න ඇති කියලත් හිතන්න පුලුවන්.
ඉතා වේගයෙන් සංචරණය කිරීමේ හැකියාවක් තියෙනවා.


හූනන් වවුලන් ආහාරයට ගන්නා මේ සර්පයා සතුව තියෙන තියුනු ඇස් ඉගිලෙන පක්ෂීන් අල්ලා ගැනීමට ආධාර වෙනවා.මොහුගේ බෝවීම බිත්තර මගින් සිදුවෙනවා. වර්ෂාව තියෙන කාලෙට ගැහැනු සර්පයා වරකට බිත්තර 6ත් 12ත් අතර සංඛ්‍යාවක් දැමීම සිදු කරනවා.
                                   Chrysopelea ornata ornatissima සර්පයෙක් බිජු මගින් බිහිවෙන අවස්ථාව




Chrysopelea ornata


(ඡායාරූප www.breeders-expo.de, www.picstopin.com, www.herpnation.com)

Friday, October 18, 2013

පොළොං තෙලිස්සා… කුණකටුවා Hump-nosed Pit Viper

පොලොංතෙලිස්සා එහෙමත් නැත්නම් කුණකටුවා කියලා හදුන්වන්නේ අපේ රටේ තරමක් විතර බහුලව හමුවෙන සර්පයෙක්. ඉංග්‍රීසි භාෂාවෙන් Merrem's Hump-nosed Pit Viper  කියලා හදුන්වන මේ සර්පයා Hypnale hypnale කියන විද්‍යාත්මක නමෙන්  හදුන්වනවා. මේ සර්පයා මෙන්න මේ විදිහට විද්‍යාත්මකව වර්ග කරන්න (Scientific classification) පුලුවන්.
                                                                                                                                
Kingdom
Animalia   

Phylum:       
Chordata

Subphylum:
Vertebrata

Class:           
Reptilia

Order:
Squamata

Suborder:    
Serpentes

Family:         
Viperidae

Subfamily:               
Crotalinae

Genus:
Hypnale


කුණකටුවා බොහෝ වෙලාවට දිවයිනේ අතරමැදි සහ වියළි කලාපයේ කෘෂිබිම් වල වගේම මිනිස් වාසස්ථාන වලත් හමුවෙනවා. ඒ වගේම තේ ,රබර්, පොල්, කොකෝවා වතු ආශ්‍රිතවද හමුවෙනවා. මෙයා නිශාචර සර්පයෙක්. ඒ වගේම භෞමික වාසී  සර්පයෙක්.
සිලින්ඩරාකාර ශරීරයක් දරන මේ සර්පයාගේ ගෙල පැහැදිලිව ගෙලෙන් වෙන් වෙලා තියෙනවා.ඒවගේම  තරමක් ත්‍රිකෝණාකාර මහත හිසක් මෙයාලට තියෙනවා. පෘෂ්ඨයක් මතුපිට ඉන්න කොට හිස අංශක 45කින් පමණ ඔසවාගෙන සිටිනු දකින්න පුලුවන්.

 කුඩා නාස් පුඩු දරන මේ සර්පයාට මදක් ඉදිරියට නෙරූ දුඹුරු පාට ඇස් පිහිටලා තියෙනවා.
විවිධ වර්ණ වලින් යුක්ත සතුන් හමුවෙනවා ඒ කියන්නේ මෙයාලගේ වර්ණ වෙනස්කම් රාශියක් තියෙනවා.  බොහෝ විට අදුරු දුඹුරු පාටයි. ඇතැම් විට තද දුඹුරු පාටින් යුක්ත වෙනවා. ශරීරයේ කලු පාට පැල්ලම් දකින්නත් පුලුවන්.

මධ්‍යම ප්‍රමාණයේ විෂ සහිතයි.  ඒ වුනත් මේ සර්පයා දෂ්ඨ කිරීම නිසා මරණ වාර්තා වෙලා තියෙනවා කියලත් සමහරු කියනවා. කොහොම උනත් මේ සර්පයා දෂ්ඨ කලාම තුවාලය අවට දැඩි වේදනාවක් ඇතිවෙනවා.
රාත්‍රී කාලයට ක්‍රියාශ්‍රීලි වෙන මේ සර්පයා දිවා කාලයේ දිරාගිය කොළ රොඩු, ගල් කොටන් යට හැංගිලා ඉන්නවා.  රාත්‍රී කාලයේදී සිදුවූ පහරදීම් වාර්තා වෙනවා. කුපිත වුන වෙලාවට වලිගය තදින් සෙලවීමක් මේ සර්පයාගෙන් දැක ගන්න පුලුවන්.
35 cm පමණ දිගකට වැඩෙන කුණකටුවා කුඩා සර්ප බිත්තර, කුඩා ක්ෂීරපායින්සිකනලුන්, ගෙම්බන් ආහාරයට ගන්නවා.
වැඩුනු ගැහැණු සතුන් මාර්තු ජුලි අතර කාලයේ පැටවු දැමීම සිදු කරනවා. වරකට පැටවුන් 7ත් 14ත් අතර සංඛ්‍යාවක් උපත් ලබන් අතර උපතේදී මේ සර්පයින් 15cm දිගකින් යුක්ත වෙනවා.


කුණකටුවා Hump-nosed Pit Viper  

                                                                               (ඡායාරූපය- www.naturephoto-cz.com)

Saturday, September 21, 2013

ඇස් උගුල්ලන සර්පයෙක්...?? ඇහැටුල්ලා / Green Vine Snake


අද මම අපේ රටේ ටිකක් බහුලව හමුවෙන සර්පයෙක් ගැන තොරතුරු අරගෙන ආවා. එයා තමයි අපි කවුරුත් හොදින් හදුනන ඇහැටුල්ලා, එහෙමත් නැත්නම් ඇස්ගුල්ලා.   Colubridae  කුළයට අයිතිවෙන මේ සර්පයා Ahaetulla nasuta  යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා.
ඉතා උස් කදු මුදුන් හැරුණු විට දිවයිනේ සෑම ප්‍ර‌දේශයකම  (මුහුදු මට්ට‌මේ සිට උස මීටර 1000 දක්වා දිවයි‌නේ ප්‍ර‌දේශ)  වාගේ මේ සර්පයාව දැක ගන්න පුලුවන්. මේ  සර්පයින් ගස් හා පඳුරු ආශ්‍රිතව තමයි ජර්‍‌වත් ‌වෙන්නේ.
මෙයාලා ලංකාවේ වගේම ඉන්දියාව නේපාලය තායිලන්තය මියන්මාරය වගේ රටවලත් දැක ගන්න පුලුවන්. ඇහැටුල්ලා දිග උල්වු හිසක් දරනවා. ඒ වගේම මෙයාලට දිග සිලින්ඩරාකාර වලිගයකුත් තියෙනවා. ඇහැටුල්ලා  ‌බො‌හෝ විට ලා ‌හෝ අඳුරු ‌කොළ පාටක් දරනවා. ඇතැම් විට දුඹුරු පාටින් යුක්ත සර්පයින් ද හමුවෙලා තියෙනවා. ශරීරයේ යටි පැත්ත සුදු පාටයි.
 ඇසේ දිගු කැපී පෙනෙන කනිනිකාවක් දකින්න පුලුවන්. ඒ වගේම  අනෙක් සර්පයින්ට සාපේක්ෂව මේ සර්පයාගේ පැහැදිලිව පෙනෙන ගෙලක් දකින්න පුලුවන්.
ඇහැටුල්ලා කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ විෂ තියෙන සර්පයෙක්. දළ වල පිහිටීම අනුව ඇහැටුල්ලා Opisthoglypha කාණ්ඩය යටතේ වර්ග කරනවා. ඒ කියන්නේ මෙයාලා පිටුපසින් පිහිටි ‌කෙටි දළ තියෙන සර්ප විශේෂයක්. මීටර් 1- 1.5 පමන දිගින් වැ‌ඩෙනවා.
ඇහැටුල්ලා  මිනිසුන්‌ගේ ඇස් ගලවන බව සමහරක් දෙනා විශ්වාස කරනවා. මෙය සම්පූර්ණයෙන්ම මිත්‍යා විශ්වාසයක්. ඇහැටුල්ලා රුක් වාසී සර්ප‌යෙක්. ‌‌මේ නිසා ‌බො‌හෝ විට මිනිසුන්ට පහර දීම් සිදු වන්‌නේ ශරීර‌‌යේ මුහුන ආශ්‍රිත ඉහළ ‌කොටසටයි. මේ හින්දා මේ මතය මිනිස්සු අතර ගියා කියලා හිතන්න පුලුවන්. නමුත් ඇහැටුල්ලා ඇස් ගැලවීමක් සිදු කරන්නේ නෑ.
මේ සර්පයා පරිසර‌යේ සිදුවන ‌වෙනස්කම් වලට ඉතා සං‌වේදියි.
මඳ විෂ සහිතයි. පක්ෂීන් හා කුඩා ක්ෂීරපායින් ආහාරයට ගන්නවා.

ඇහැටුල්ලා /  Green Vine Snake