Sunday, November 15, 2015

දැතිගෝමරයා..Black headed Snake



දැතිගෝමරයා හෙවත් ඉංග්‍රීසි භාෂාවෙන් Jerdon’s Polyodent හෝ Black-headed Snake යන නම් වලින් හදුන්වන මෙම සර්පයා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංගලාදේශය යන රටවලින් පමණක් හමුවේ.  Sibynophis subpunctatus ceylonicus යන උප විෂේශය මෙරටට ආවේනික වේ.  ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමින් 750 m දක්වා උසකට තෙත් හා වියළි කලාප වල දක්නට ලැබේ. පානදුර ගාල්ල කොළඹ පුත්තලම සිංහරාජය දෙනියාය කලුතර ප්‍රදේශ වලින් හමුවී ඇත.
Colubridae කුලයට අයත් මෙම සර්පයා පහත පරිදි වැඩිදුරටත් වර්ගීකරණය කළ හැක.

Sibynophis subpunctatus
Kingdom:    Animalia
Phylum:      Chordata
Class:          Reptilia
Order:         Squamata
Suborder:    Serpentes

Family:       Colubridae
Subfamily:  Colubrinae
Genus:        Sibynophis

මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක් දරයි. විශාල ඇස් තුළ රවුම් කණිනිකාවක් දැකිය හැක. ක්‍රමයෙන් සිහින් වන දිගු වලිගයක් දැකිය හැකි අතර  ලා දුඹුරු පාට ශරීරයේ තද දුඹුරු පාට තිත් විශාල ගණනක් ඇත. කලු පාට හිසේ කහ පාට වලල්ලක් දැකිය හැක. තොල් හා හිසේ යට කොටස කහ පාටයි.

නිර්විෂ සර්පයෙකු වන දැති ගෝමරයා  දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ දෙකේදීම දැකිය හැක. කෘෂිකාර්මික බිම් වල නිරන්තරයෙන් හමුවන අතර භෞමිකවාසී සර්පයෙකි. වැඩි වේලාවක් විට දිරාගිය කොටන් යට සහ ගල් යට සැගවී සිටී. බොහෝ විට පහර දීමක් සිදු නොකරයි. හොදින් වැඩුනු සරිපයෙකු 20 -35  cm පමණ දිගකින් යුක්ත වන අතර ආහාර වශයෙන් ගෙම්බන් කුඩා සර්පයින් හූනන් මෙන්ම හිකනලුන්ද දඩයම් කරනු ලබයි.

කලු පාට හිසේ කහ පාට වලල්ලක් දැකිය හැක




ඡායාරූප උපුටා ගැනීම
indiansnakes.org
www.sarrp.org

Tuesday, June 2, 2015

සර්පයින්‌ගේ වැදගත් කම

මිහිතලය මත වසන සෑම සත්ව ‌කොට්ඨාශයක් ‌මෙන්ම සර්පයින්ද මිහිතලයේ පැවැත්මට යම්‌ ‌මෙ‌හෙයක් සිදු කරයි. එසේම පරිසර විද්‍යාත්මක සමතුළිතතාවය (ecological balance) පවත්වා ගැනීමට සර්පයින් වැදගත් වේ.ලංකා‌වේ ‌‌ෙ‌ජෙව විවිධත්වය ඉහල නැංවීමට සර්පයින්‌ගේ දායකත්වය අත්‍යාවශ්‍ය ‌වේ.
ලංකාව ඈත අතීත‌යේ සිටම කෘෂිකාර්මික රටකි. මීයන් සහ වෙනත් කෘමින් වගාවන්ට සහ ආහාර ගබඩා වලට හානි පමුනුවයි. සර්පයින් ආහාර දාම වල ඉහල මට්ටම් වල යැ‌පෙන්නන් ‌වේ. ඔවුන් විසින් මීයන් හා විවිධ කෘමි සතුන් ආහාරයට ගනු ලබයි. එනිසා  එම සතුන් ‌ගේ ‌බෝ වීම පාලනය ‌‌වේ. එයින් වගාවන්ට විශාල ‌ලෙස පාඩු සිදු වීම වැළ‌කේ.
මීයන්ගේ මල සහ මුත්‍රා මගින් මී උණ වැනි වැනි වසංගත තත්වයන් පැතිර යයි. සර්පයින් යනු මීයන්ගේ ස්වාභාවික සතුරෙකි. සර්පයින් විසින් මීයන් ‌ගොදුරු කර ගැනීම ‌නිසා මීයන් ප්‍රමාණයට වඩා වැඩිවීම පාලනය වේ. එය වසංගත මර්ධනයට පිටිවහලක් ‌වේ.
සර්ප විෂේ අන්තර්ගත විවිධ සංඝටක වල විෂේෂිත කෘතයන් නිසා නූතන‌ෙ‌වෙද්‍ය විද්‍යා‌වේ. ඇතැම් ඖෂධ නිපදවීමට සර්පයින්ගේ විෂ උප‌යෝගී කර ගනී. ‌බෝ‌හෝ විට සර්පයින් දෂ්ඨ කල විට ලබා ‌දෙන ප්‍රති විෂ ( Anti venom  serum /AVS) නිෂ්පාදනය සඳහා ‌‌යොදා ගනු ලබන්‌නේ සර්ප විෂයි.
පිළිකාසරම්ප, හි‌මෝෆීලියාව, ඇතැම් ස්නායු ‌රෝග, ලාදුරු, රූමටික උණ, මහාමාරිය, ඇදුම වැනි ‌රෝග සඳහාද මර්ධනය කළ සර්ප විෂ ‌යොදා ගන්නා බව කිය‌වේ.
කායික විද්‍යාව (physiology), ජෛව රසායනික විද්‍යාව (biochemistry) , ප්‍රතිශක්ති විද්‍යාව (immunology) වැනි විෂය ක්ෂේත්‍ර වල පරීක්ෂණ කටයුතු සදහා සර්ප විෂ යොදා ගනී.
ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල විවිධ ජන ‌කොට්ඨාශ වල ජීවිකාව සර්පයින් මත  රැදී ති‌බේ. වි‌ශේෂ‌යෙන්ම අහිගුන්ඨක ජන ‌කොධ්ඨාශ  නයින් නැටවීම මගින් තම ජීවිකාව පවත්වා ගනී.


ඡායාරූප
http://www.nj.com/news/index.ssf
http://content.time.com/


Friday, April 3, 2015

සර්පයන්ට ඇති තර්ජන සහ සංරක්ෂණය- 2

පසුගිය දශක ගණනාව තුළ ශ්‍රී ලංකාවේ වන විනාශය සීඝ්‍රයෙන් සිදු විය. නාගරිකකරණය, වගාවන් පිණිස වනාන්තර විනාශ කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතී. මේ නිසා සර්පයින් පමණක් නොව අනෙකුත් බොහොමයක් වනජීවීන්ගේද වාසස්ථාන අහිමි වී යයි.
කෘෂි කාර්මික කටයුතු වලදී යොදා ගන්නා  කෘෂි රසායනික ද්‍රව්‍යයන්ද සර්පයින්ට තර්ජනයක් ඇති කරනු ලබයි. වගාවන් සදහා යොදා ගන්නා කෘමිනාශක මෙන්ම වල්නාශකද සර්ප ගහණය අඩු කිරීමට හේතු වෙයි. නයිට්‍රිජන් අඩංගු පොහොර වර්ග වල අධි භාවිතයද මොවුනට අහිතකර ලෙස බලපානු ලබයි. මෙම රසායනික ද්‍රව්‍යය තවත් ආකාරයකින් සර්පයින්ගේ ආහාර වන කෘමීන් ගෙම්බන් මීයන් වැනි සතුනගේ ගහණය අඩු කිරිමටද හේතු වේ. 

ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම, වාර්ශික වර්ෂාපතනය අඩුවීම වැනි දේශගුණ වෙනස්වීමද ඇතැම් විශේෂ කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරනු ලබයි. සමහර සර්ප විශේෂ වලට ජීවත් විම සදහා අඩු උෂ්ණත්ව අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස මැඩිල්ලන් (Aspidura spp) , නිහලුවා(Balanophis ceylonensis), දාර රදනකයා (Cercaspis carinatus  ), කුරන් කරවලා(Haplocercus ceylonensis), වැනි විශේෂ වලට ජීවත් විම සදහා 25°C වලට වඩා අඩු උෂ්ණත්ව මෙන්ම තෙතමණයෙන් යුක්ත කොළරොඩු සහිත පරිසරයක් අවශ්‍ය වේ. මෙම තත්ව නොමැති වුවහොත් මොවුන් මිය යෑමට පුලුවන. (de. Silva 1980,1987).
මුහුදු සර්පයින්ට එල්ලවි ඇති ප්‍රබලතම තර්ජනයවන්නේ ධීවරයින් විසින් මරා දැමීමයි. මීට අමතරව තෙල් වැනි ද්‍රව්‍යය නිසා මුහුදු ජලයේ සිදුවන දූෂණයද   මුහුදු සර්පයින්ට අහිතකර ලෙස බලපෑම් ඇති කරයි.  
ශ්‍රි ලංකාව යනු සර්පයින්ගේ විවිධත්වය අධික රටකි. එමෙන්ම මෙරටට ආවේණික වූ විශේෂ බොහොමයක් හමුවේ. නමුත් දියුණු යැයි කියා ගන්නා මිනිසුන් විසින්ම සිදු කරන ක්‍රියා හේතුවෙන්  සර්ප ගහණය සීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී. මේ නිසා බොහොමයක් විශේෂ වද වීමේ තර්ජනයටද මුහුණ පා සිටී. මේ වන විට මෙරට වෙසෙන බොහෝ සර්ප විශේෂ IUCN රතු දත්ත පොතට ඇතුලත්ව ඇත.

2007 රතු දත්ත වාර්තාවට අනුව මෙරට අවදානමට ලක් වී ඇති සර්ප විශේෂ

(Red list of threatened fauna and flora of Sri Lanka 2007)

Critically Endangered –CR

 Gerarda prevostiana  පොවොස්ටිගේ දිය බරියා
 Aspidura deraniyagalae කදු මැඩිල්ලා
 Aspidura drummondhayi කෙටිවල් මැඩිල්ලා

Endangered –EN

Acrochordus granulatus රෙදි නයා දිය ගොයා

Vulnerable –VU

Gongylophis conicus වැලි පිඹුරා
 Cercaspis carinatus  දාර රදනකයා
Chrysopelea taprobanica දගර දන්ඩා
Dendrelaphis caudolineolatus  වයිරි හාල්දන්ඩා
 Liopeltis calamaria පන්බරියා
 Oligodon calamarius   කබර දත්කැටියා
Cerberus rynchops   කුනු දිය කලුවා
 Balanophis ceylonensis  මල් කරවලා නිහලුවා
Echis carinatus  වැළි පොළගා

Near Threatened – NT

Ahaetulla pulverulenta  හෙනකදයා
Boiga barnesii පදුරු මාපිලා
Chrysopelea ornata  පොල්මල් කරවලා
 Dryocalamus nympha ගැට කරවලා
Cylindrophis maculatus දෙපත් නයා වටඋල්ලා
Bungarus ceylonicus  මුදු කරවලා
 Calliophis melanurus  දෙපත් කලුවා
Aspidura brachyorrhos  ලේ මැඩිල්ලා
Aspidura guentheri  කුඩා මැඩිල්ලා
Aspidura trachyprocta දලව මැඩිල්ලා
Macropisthodon plumbicolor  පලාබරියා
 Hypnale nepa   කදුකර මූකලන් තෙලිස්සා

Data Deficient – DD

Argyrogena fasciolata  වල් ගැරඩියා
Boiga beddomei  කහ මාපිලා
 Dendrelaphis oliveri  ඔලිවර්ගේ හාල්දන්ඩා
Dryocalamus gracilis මීගැට කරවලා
Haplocercus ceylonensis කුරන් කරවලා රත් කරවලා
Ramphotyphlops  දුමුටු කණඋල්ලා
Typhlops ceylonicus ස්මිත්ගේ කණඋල්ලා
Typhlops lankaensis ලක් කණඋල්ලා
 Typhlops leucomelas කබර කණඋල්ලා
Typhlops malcolmi මැල්කම්ගේ කණඋල්ලා
Typhlops mirus  හීන් කණඋල්ලා
Typhlops porrectus ස්ටොලික්ස්කාගේ සිහින් කණඋල්ලා
Typhlops tenebrarum ටේලර්ගේ කණඋල්ලා
Typhlops veddae වැද්දාගේ කණඋල්ලා
Typhlops violaceus දම් කණඋල්ලා
Platyplecturus madurensis මදුරාසි  බිංඋල්ලා
Pseudotyphlops philippinus මහ බිංඋල්ලා
Rhinophis blythii ගෝමර තුඩැල්ලා
Rhinophis dorsimaculatus තම්බපන්නි වල්ගා ඇබයා
Rhinophis drummondhayi තපෝ තුඩැල්ලා
Rhinophis erangaviraji  එරංග විරාජ්ගේ තුඩැල්ලා
 Rhinophis homolepis  දෙපත් තුඩැල්ලා
Rhinophis oxyrhynchus උල් තුඩැල්ලා
Rhinophis philippinus කුවියර්ගේ වල්ගා ඇබයා
 Rhinophis porrectus  දික් තුඩැල්ලා
Rhinophis punctatus තිත් තුඩැල්ලා
Rhinophis tricoloratus  දැරණියගලගේ වල්ගා ඇබයා
Uropeltis melanogaster කලු වකටුල්ලා
Uropeltis phillipsi ඉරි වකටුල්ලා
Uropeltis ruhunae රුහුනු වකටුල්ලා

මිට පෙරද සදහන් කල පරිදි සර්පයින් යනු පාරිසරික සමතුලිත තාවය පවත්වාගෙන යෑම සදහා අත්‍යවශ ජීවී කාණ්ඩයකි. මේ නිසා මොවුන් වද වීමට ලක් නොවී ආරක්ෂාකර ගැනීම සදහා සුදුසු සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කල යුතුයි. මිනිසුන් විසින් සර්පයින් බොහෝ දෙනෙකු මරා දමන්නේ ඔවුන් පිළිබදව ඇති නොදැනුවත් කම හේතුවෙනි. එනිසා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම සිසුන් සදහා අධ්‍යාපනික ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේ අවශතාවය පැන නැගී ඇත. එමෙන්ම නිවෙස් තුළට පැමිනෙන  සර්පයින් නොමරා නැවතත් වනාන්තර වලට යොමු කිරිම ඕනෑම පුද්ගලයෙකුට කළ හැකි දෙයකි.
කෙසේ වෙතත් අප පරිසරයෙන් නුදුරු අනාගතයේදිම තුරන් වි යාමට නියමිත මෙම සත්ත්ව කාණ්ඩය ආරක්ෂා කර ගැනීම අප සැමගේම යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.


Sunday, March 29, 2015

සර්පයන්ට ඇති තර්ජන සහ සංරක්ෂණය- 1

අද අපි කතා කරන්න යන්නේ සර්ප විශේෂ වලට එල්ල වී ඇති තර්ඡන මෙන්ම ඔවුන්ව සංරක්ෂණය කිරීම පිළිබදවයි.අනෙකුත් බොහොමයක් සත්ත්ව විශේෂ වලට මෙන්ම සර්පයින්ටද ඇති ප්‍රබලතම තර්ජනය වන්නේ මිනිසායි.බොහෝ පුද්ගලයින් සර්පයින්ට ඇති නොකැමැත්ත සහ බිය නිසා සර්පයින් මරා දැමීමට පෙළඹේ.  සර්පයින් පිළිබද බොහෝ දෙනා තුළ ඇති නොදැනුවත්භාවය, විෂේශයෙන්ම දකින ඕනැම සර්පයෙකු විෂඝෝර යැයි සිතීම වැනි ආකල්ප හේතුවෙන් සර්පයින් මරා දැමීම වැඩිවී ඇත.  විෂ සහිත සර්පයින් ලෙස වැරදියට හදුනා ගැනීම හේතුවෙන් නිර්විෂ සර්පයින් මරා දමන අවස්ථා බහුලව හමුවේ. තිත් පොළගා යැයි රුවටී සර්පයින් මරා දැමීම, තෙල් කරවලා යැයි සිතා ගැට කරවලා(Dryocalamus nympha) , දාර රදනකයා (Cercaspis carinatus  ) මරා දැමීම සිදුවේ. මීට අමතරව කටකලුවා (Coelognathus helena) අරනිදත්කැටියා (Oligodon arnensis  ) රෑන්මාපිලා(Boiga trigonata  ) ලේ මාපිලා (Boiga forsteni) මිනිසුන් නිසා නිකරුනේ මරණයට පත් වන නිර්විෂ සර්පයින් අතර ප්‍රමුඛ වේ. (de.Silva 2009)

මහවැලි ජනාවාස ප්‍රදේශයේ එක් දිනකට සර්පයින් 5කට ආසන්න ගණනක් මරා දමන බව වාර්තා වේ.(de.Silva 1982) මහවැලි ව්‍යාපෘතිය හේතුවෙන් විශාල වනාන්තර ප්‍රමාණයක් විනාශ විය.  ඒ නිසා ඒවායේ ජීවත් වූ සර්පයින් බොහොමයක් මිය යන්නට ඇතැයි සැලකේ. මාර්ගවල ගමන් ගන්නා වාහන වලට යට වීම හේතුවෙන්ද සර්පයින් විශාල ප්‍රමාණයක් මිය යයි. විශේෂයෙන්ම වනාන්තර ආශිතව වැටි ඇති මාර්ග වල මෙය සුලභව සිදුවේ. 2006 වසරේදී අනුරාධපුර මිහින්තලය මාර්ගයේ 6 km ප්‍රදේශයක සිදු කරන ලද සමීක්ෂණයකට අනුව එම වසරේ මාර්තු සහ දෙසැම්බර් කාල පරාසය තුලදි තුවාල වූ සහ මියගිය උරග විෂේශ 24ක් සොයා ගන්නා ලදී. ඒ අතරතුර හෙනකදයා (Ahaetulla pulverulenta) , උල්තුඩැල්ලා (Rhinophis oxyrhynchus) ඇතුලු Uropeltidae කුළයේ සර්පයින් 5 දෙනෙකු සමග සර්පයින් 110 දෙනෙකු හමුවි ඇත. (Amerakoon et al.2007)

සර්පයින්ගේ ස්වාභාවික වාසස්ථාන විනාශ කිරීම හා වාසස්ථාන කැබලි කිරීම (habitat fragmentation) ඔවුනට ඇති තර්ජන අතර ප්‍රමුඛ වේ. මේ නිසා සර්පයින් මිනිස් වාසස්ථාන වගා බිම් අසලට පැමිනේ. මෙහිදී මිනිසා මගින් මෙන්ම ගෘහාශිතව ජීවත් වන සතුන් මගින්ද සර්පයින් මරණයට පත්වීම සිදුවේ. ජනගහණය වර්ධනය සහ ව්‍යාප්තිය වැඩිවීමත් සමගම සිදුවූ ශෘහාශිත පූසන් වැනි සතුන්ගේ වර්ධනයද සර්පයින්ට තර්ජනයක් වූ බව පැවසේ. (de. Silva et al.2004)

Monday, February 16, 2015

පදුරු හාල්දන්ඩා... (Boulenger's Bronze-back)

පදුරු හාල්දන්ඩා කියන්නේ අපේ රටට ආවේනික සර්පයෙක්. මුහුදු මට්ටමේ සිට මීටර් 900ක් තෙත් අතරමැදි හා වියළි කලාප වලද මධ්‍යම කදුකරයේද හමවෙනවා. බලංගොඩ ගාල්ල මුලතිව් හන්තාන සිංහරාජ  ප්‍රදේශ වලින්ද හමුවී තියෙනවා. විද්‍යාත්මකව  Dendrelaphis bifrenalis යන නමින් හදුන්වන මේ සර්පයා Colubridae කුළයට අයත් සර්පයෙක්. මෙයාව මෙන්න මේ විදිහට ජෛවවිද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්.
Kingdom:  Animalia 
Phylum:     Chordata
Class:         Reptilia
Order:        Squamata
Suborder:  Serpentes
Family:      Colubridae
Subfamily:          Colubrinae
සිලින්ඩරාකාර පටු ශරීරයක් දරයි. ගෙල ප්‍රදේශය හොදින් පැහැදිලිය. දිගු උල්වූ හිසක් ඇත. ශරීරයේ දිගින් 1/3 ක් පමණ දිග්වූ වලිගයක් පිහිටයි.  විශාල කනිනිකාවක් සහිත ඇස් පිහිටයි.
හිස ප්‍රදේශය ලා කොළ පාටින් යුක්තය. ශරීරය දුඹුරු කහ පාටයි. හිස දෙපස කලු පාට රේඛාවක් ගමන් කරයි. මෙය ගෙල දක්වා දිවේ. කහපාට රේඛා දෙකක් ශරීරය පිටුපස දක්වා ගමන් කරයි. ඇතැම් විට මෙම රේඛා දෙක කලු තිත් වලින් වටවී ඇත. ශරීරයේ යටි පැත්ත කහ පාටට හුරු කොළ පාටක් ගනී. දිව රතු පාටින් යුක්තයි.
විෂ රහිතයි. තරමක් ක්‍රියාශීලී සර්පයෙකු වනමොහු බිය වූ කල ඉතා වේගයෙන් පලා යයි. 70- 90 cm පමණ දිගකට වැඩේ.
දිවාචර වෘක්ෂවාසී සර්පයෙකු වන මොහු පදුරු හා තරමක් උස ගස් ආශිතව හමුවේ. ඇතැම් විට ආහාර සෙවීම සදහා පොළවට බසී. හූනන් ගෙම්බන්  ආහාරයට ගනී.
වරකට බිත්තර 5ක් පමණ දැමීම සිදු කරයි.


පදුරු හාල්දන්ඩා Dendrelaphis bifrenalis



පදුරු හාල්දන්ඩා Dendrelaphis bifrenalis

පදුරු හාල්දන්ඩා

Dendrelaphis bifrenalis


ඡායාරූප

http://commons.wikimedia.org


Tuesday, February 3, 2015

අපේ රටට ආවේණික සර්පයෙක්- මල් රදනකයා.. Flowery Wolf Snake

මල් රදනකයා කියලා හදුන්වන්නේ ශ්‍රී ලංකාවට ආවේනික සර්ප විෂේශයකුයි. මෙරට වියලි කලාපයේ මුහුදු බඩ ආශ්‍රිතව හමුවේ. නමුත් උස් කදුකර ප්‍රදේශ හැරුනු කොට දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලින්ද වාර්තා වෙලා තියෙනවා. හලාවත කොළඹ අම්පාර මාතර යාල ප්‍රදේශ වල දැක ගන්න පුලුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් Flowery Wolf Snake කියලා හදුන්වන මේ සර්පයා  Lycodon osmanhilli  යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා.
Colubridae කියන සර්ප කුළයට අයිත් සර්පයෙක් වන මල් රදනකයා මෙන්න මේ විදිහට  වැඩිදුරටත් වර්ගීකරණය කරන්න පුලුවන්.
Lycodon osmanhilli  මල් රදනකයාKingdom:   Animalia
Phylum:     Chordata
Subphylum:Vertebrata
Class:         Reptilia
Order:         Squamata
Suborder:   Serpentes
Family:      Colubridae
Subfamily: Colubrinae
Genus:        Lycodon
මෙම සර්පයාගේ දිගු ශරීරයේ පැතලි හිසක් පිහිටනවා.  තැඹිලි පාටට හුරු දුඹුරු කහ ශරීරයේ හිස ලා කහ පාටයි. තද දුඹුරු වයිරමක් දැක ගන්න පුලුවන්. ඇස් සම්පූර්ණයෙන්ම කලු පාටයි.
විෂ රහිත සර්පයෙක් වන මල් රදනකයා  නිශාචර හෙවත් රාත්‍රී කාලයට වැඩිපුර ක්‍රියාශීලී වේ.   මිනිස් වාසස්ථාන වල දැකිය හැක. මූලික වශයෙන් භෞමික වාසියෙකු වුවත් ඇතැම් විට ගස් මතද දැක ගන්න පුලුවන්. වේගයෙන් සංචරණය කරන මේ සර්ප විශේෂය බිය වූවිට දගර ගැසී හිස සගවා ගනී. 50 cm පමණ දිගකට වර්ධනය වේ.
ප්‍රධාන ලෙස හූනන් ආහාරයට ගනී. ඊට අමතරව වෙනත් කුඩා සර්පයින්ද මීයන්ද ආහාර ලෙස ගනී.

IUCN රතු දත්ත පොතට අනුව මේ සර්පයා Least concern සංරක්ෂිත කාණ්ඩයට ඇතුලත් කර තියෙනවා
Lycodon osmanhilli
මල් රදනකයා


ජායාරූප http://reptile-database.reptarium.cz/