Sunday, March 29, 2015

සර්පයන්ට ඇති තර්ජන සහ සංරක්ෂණය- 1

අද අපි කතා කරන්න යන්නේ සර්ප විශේෂ වලට එල්ල වී ඇති තර්ඡන මෙන්ම ඔවුන්ව සංරක්ෂණය කිරීම පිළිබදවයි.අනෙකුත් බොහොමයක් සත්ත්ව විශේෂ වලට මෙන්ම සර්පයින්ටද ඇති ප්‍රබලතම තර්ජනය වන්නේ මිනිසායි.බොහෝ පුද්ගලයින් සර්පයින්ට ඇති නොකැමැත්ත සහ බිය නිසා සර්පයින් මරා දැමීමට පෙළඹේ.  සර්පයින් පිළිබද බොහෝ දෙනා තුළ ඇති නොදැනුවත්භාවය, විෂේශයෙන්ම දකින ඕනැම සර්පයෙකු විෂඝෝර යැයි සිතීම වැනි ආකල්ප හේතුවෙන් සර්පයින් මරා දැමීම වැඩිවී ඇත.  විෂ සහිත සර්පයින් ලෙස වැරදියට හදුනා ගැනීම හේතුවෙන් නිර්විෂ සර්පයින් මරා දමන අවස්ථා බහුලව හමුවේ. තිත් පොළගා යැයි රුවටී සර්පයින් මරා දැමීම, තෙල් කරවලා යැයි සිතා ගැට කරවලා(Dryocalamus nympha) , දාර රදනකයා (Cercaspis carinatus  ) මරා දැමීම සිදුවේ. මීට අමතරව කටකලුවා (Coelognathus helena) අරනිදත්කැටියා (Oligodon arnensis  ) රෑන්මාපිලා(Boiga trigonata  ) ලේ මාපිලා (Boiga forsteni) මිනිසුන් නිසා නිකරුනේ මරණයට පත් වන නිර්විෂ සර්පයින් අතර ප්‍රමුඛ වේ. (de.Silva 2009)

මහවැලි ජනාවාස ප්‍රදේශයේ එක් දිනකට සර්පයින් 5කට ආසන්න ගණනක් මරා දමන බව වාර්තා වේ.(de.Silva 1982) මහවැලි ව්‍යාපෘතිය හේතුවෙන් විශාල වනාන්තර ප්‍රමාණයක් විනාශ විය.  ඒ නිසා ඒවායේ ජීවත් වූ සර්පයින් බොහොමයක් මිය යන්නට ඇතැයි සැලකේ. මාර්ගවල ගමන් ගන්නා වාහන වලට යට වීම හේතුවෙන්ද සර්පයින් විශාල ප්‍රමාණයක් මිය යයි. විශේෂයෙන්ම වනාන්තර ආශිතව වැටි ඇති මාර්ග වල මෙය සුලභව සිදුවේ. 2006 වසරේදී අනුරාධපුර මිහින්තලය මාර්ගයේ 6 km ප්‍රදේශයක සිදු කරන ලද සමීක්ෂණයකට අනුව එම වසරේ මාර්තු සහ දෙසැම්බර් කාල පරාසය තුලදි තුවාල වූ සහ මියගිය උරග විෂේශ 24ක් සොයා ගන්නා ලදී. ඒ අතරතුර හෙනකදයා (Ahaetulla pulverulenta) , උල්තුඩැල්ලා (Rhinophis oxyrhynchus) ඇතුලු Uropeltidae කුළයේ සර්පයින් 5 දෙනෙකු සමග සර්පයින් 110 දෙනෙකු හමුවි ඇත. (Amerakoon et al.2007)

සර්පයින්ගේ ස්වාභාවික වාසස්ථාන විනාශ කිරීම හා වාසස්ථාන කැබලි කිරීම (habitat fragmentation) ඔවුනට ඇති තර්ජන අතර ප්‍රමුඛ වේ. මේ නිසා සර්පයින් මිනිස් වාසස්ථාන වගා බිම් අසලට පැමිනේ. මෙහිදී මිනිසා මගින් මෙන්ම ගෘහාශිතව ජීවත් වන සතුන් මගින්ද සර්පයින් මරණයට පත්වීම සිදුවේ. ජනගහණය වර්ධනය සහ ව්‍යාප්තිය වැඩිවීමත් සමගම සිදුවූ ශෘහාශිත පූසන් වැනි සතුන්ගේ වර්ධනයද සර්පයින්ට තර්ජනයක් වූ බව පැවසේ. (de. Silva et al.2004)