Saturday, October 20, 2012

කෑවොත් මරණය-තෙල් කරවලා Common Indian Krait


අපි කවුරුත් හොදින් හදුනන ලංකාවේ ඉන්න උග්‍ර විෂ තියෙන සර්පයෙක් වෙන නයා ගැන එදා කතා කලානේ, ඉතින් අදත් අපි කතා කරන්න යන්නේ අපේ රටේ හම්බුවෙන තවත් උග්‍ර විෂ තියෙන සර්පයෙක් වෙන තෙල් කරවලා එහෙමත් නැත්නම් සමහර අය මගමරුවා (Common Indian Krait)  කියලා හදුන්වන සර්පයා ගැන. මේ සර්පයා Elapidae කුළයේ  Elapinae කියන උප කුළයට අයිති වෙනවා. මෙයාගේ විද්‍යාත්මක නම Bungarus caeruleus.
තෙල් කරවලා පහතරට වියළි කලාපයේ සහ අතරමැදි කලාප වල බහුලව හමුවෙනවා. අනුරාධපුර, බලංගොඩ, නාච්චදූව, මින්නේරිය, කතරගම, නකල්ස්, පුත්තලම, කුරුණෑගල ආදී ප්‍රදේශ වලින් මෙම සර්පයා හමුවූ බව වාර්තා වෙලා තියෙනවා.
 මේ සර්පයා මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක් දරනවා. ගෙල ශරීරයෙන් පැහැදිලිව වෙන්වෙලා නෑ. කලු පාට කෙටි වලිගයක් තියෙනවා. කලු පාට ශරීරය පුරා සුදු පාට වලලු පිහිටනවා. මේක තමයි මේ සර්පයා හදුනාගන්න තියෙන ප්‍රධානතම ලක්ෂණය. මෙයාලගේ යටි පැත්ත සුදු පාටයි.
 හිස දෙපස කුඩා ඇස් පිහිටනවා.
කලිනුත් කිව්වා වගේ මෙයා උග්‍ර විෂ සහිත සර්පයෙක්.  තෙල් කරවලෙකුගේ දෂ්ඨනයෙන් පස්සේ සපා කෑ ස්ථානය තදින් ඉදිමෙනවා. සර්ප දෂ්ඨනයෙන් පසු  හුස්ම ගැනීම අපහසු වෙනවා. දිව එලියට දැමීම වගේම කථා කරන්නත් අපහසු වෙනවා. තෙල් කරවලෙකුගේ දෂ්ඨනයක් සිදුවූ විගසම නිවරදි ප්‍රථමාධාර ලබා දීම සිදුකර වහාම නිවරදි වෛද්‍ය ප්‍රථිකාර සදහා රෝගියා යොමු කරන්න ඕනි.  නැත්නම් මරණය වුවත් සිදු වෙන්න පුලුවන්.
තෙල් කරවලා කියන්නේ නිශාචර සර්පයෙක්. දිවා කල කොළ රොඩු යට සහ පසේ කුහර තුළ  වෙසෙනවා. භෞමික  සර්පයෙක්.
කුපිත කිරීමකින් තොරව වුවත් පහර දීමට පෙළඹීමේ ස්වාභාවයක් මේ සර්පයා තුළින් දකින්න පුලුවන්.
වැඩුනු තෙල් කරවලෙක් සෙන්ටිමීටර 80 ත් 150 ක් පමණ දිගකට වැඩෙනවා.
මීයන්, ගෙම්බන්, හූනන්, සිකනලුන් විතරක් නෙමෙයි වෙනත් නිර්විෂ කුඩා සර්පයින්ද මෙයාලා ආහාර වශයෙන් ගන්නවා..