Monday, April 16, 2012

Family Boidae


Family Boidae
අද අපි කතා කරන්න යන්නේ බොයිඩේ කියන සර්ප කුළය ගැනයි. එදා අපි කතා කරපු Family Colubridae මෙරට ඉන්න සර්පයෝ වැඩිම සංඛ්‍යාවක් අයිති වුනාට  Boidae කුළයට අයත් සර්පයින්ගෙන්  ලංකාවෙන් වාර්තා වෙන්නේ Gongylophis conicus හෙවත් වැළි පිඹුරා (Sand Boa) කියන සර්පයා විතරයි. පිඹුරා කියන නමින් හැදින්වුවාට මෙම සර්පයාට තියෙන්නේ පිඹුරාට වඩා දිගින් අඩු ශරීරයක්. 
මෙම කුළයට අයති වෙන්නේ සෙමින් සංචරනය කරන ඉතාමත් උදාසීන සර්ප විෂේශයි. මෙයාලා විශාල ශරීර දැරුවත්  ශරීර ප්‍රමාණය අතින් ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. පරිනාමයේදී න්‍යෂ්ඨ වී ගිය අසම්පූර්න පසුපස ගාත්‍රා මෙම කුළයේ සර්ප විෂේශ වල දැකගන්න පුලුවන්. ඒ වාගේම මෙම විෂේශ මියර සහිත කොරපොතු දරනවා. වැලි පිඹුරා බොහෝ විට වෙරලාසන්න වැලි ආශ්‍රිතව ජීවත් වෙනවා.



වැළි පිඹුරා
                                                                      (ඡායාරූපය- www. srilankanreptiles. com)
 

Thursday, April 12, 2012

Family Colubridae


Family Colubridae කොලුබ්‍රිඩාවන් යන නමින් මෙයාලව හදුන්වනවා. ලොව විශාලතම සර්ප කුළය වන මෙයට දැනට හදුනාගත් සර්ප විශේෂ 1700කට අධික ප්‍රමාණයක් අයත් වෙනවා. ශ්‍රී ලංකාව තුළ හමුවන සර්ප විශේෂ අතරින්ද වැඩිම විෂේශ සංඛ්‍යාවක් (29ක් පමණ) අයත් වන්නේ මෙම කුළයටයි. මේ අතර මෙරටට ආවේනික සර්ප විශේෂ 9ක්ද ආවේනික උප විශේෂ 4ක්ද අයත්වේ. භෞමික වාසී, රුක්වාසී, ජලජවාසී පමණක් නොව පාංශුවාසී, යන ප්‍රධාන වාසස්ථාන සියල්ලෙහිම මෙම සර්පයින් දැක ගන්න පුලුවන්.
 මාපිලුන් (Cat snakes) හාල්දන්ඩන් (Bonze backs) දත්කැටියන්(Kukri snakes) විශේෂ පමණක් නොව අපට බහුලව හමුවන ගැරඩියන්ද (Rat snakes) අයත් වෙන්නේ මේ කුළයටයි. 
 අපේ රටේ හමුවෙන කොලුබ්‍රිඩාවන් අතරින්  ඇතැම් විෂේශ මද විෂ (mildly venomous) සහිත වන අතර බොහොමයක් විෂ රහිත (non-venomous) වේ. මෙම සර්පයින් බොහොමයක් දැනට වදවීමේ තර්ජනයට මුහුන පාලා තියෙනවා. ඒ නිසාම මේ අතරින් බොහොමයක් රතු දත්ත පොතේ Threatened යන කාණ්ඩය යටතේ වර්ගීකරණය කරලා තියෙනවා.

Sunday, January 8, 2012

Family Acrochordidae

එදා අපි සර්පයින් වර්ගීකරණය ගැන කතා කරන කොට කිව්වනේ ලංකාවේ ඉන්න සර්පයෝ ප්‍රධාන කුළ 11ක් යටතේ වර්ගීකරණය කරන්න පුලුවන් කියලා. ඉතින් අපි අද ඉදන් කතා කරන්න යන්නේ ඒ එක් එක් කුළය ගැන.
Family Acrochordidae
මෙම කුලයට අයත් සර්පයින් අතරින් මෙරට තුළදී හමුවන්නේ රෙදි නයා /දිය ගොයා ලෙස හදුන්වන Acrochordus granulatus පමණයි.  මෙම කුලයේ සර්පයින් තරමක් විශාල, බර ශරීර දරනවා. ඒ වගේම රැළි වැටුනු ලිහිල් සමකින් ශරීරය ආවරණය වෙලා තියෙනවා.  ශරීරයේ ඉතා කුඩා කණිකාමය හැඩති අතිච්චාදනය නොවූ කොරපොතු පිහිටා තියෙනවා.
මෙයාලා ජලයේ ජීවත් වීමට අනුවර්තනය වෙලා ඉන්නවා. කිවුල් ජලයේ, කලපු වල වගේම වෙරලාසන්න පිරිසිදු ජල මූලාශ වලත් මෙම කුළයේ සර්පයින් දැක ගන්න පුලුවන්. ජලයේ පිහිනීමට මෙන්ම ජලයේ ගිලී විසීමටද මොවුනට හැකියාවක් තියෙනවා. වැඩුනු සත්වවයින් හා ලාබාල සත්ත්වයින් වර්ණයෙන් වෙනස් නිසා පැහැදිලිව වෙන් කරලා හදුනගන්න පුලුවන්.

(මෙම ඡායාරූප www.srilankanreptiles.com  වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.)

Friday, December 16, 2011

සර්පයින් වර්ගීකරණය

අද අපි කතා කරන්න යන්නේ සර්පයින් වර්ගීකරණය ගැනයි. ජෛව විද්‍යාත්මක වර්ගීකරණයට අනුව සර්පයින් Animalia රාජධානියේ (kingdom) Chodata  සත්ත්ව වංශයට (phylum) අයත් වෙනවා.  Chodata  වංශයේ  Vertibratae  නම් උප වංශයේ (sub phylum) Reptilia නම් වර්ගයට (class) සර්පයින් නැවත වර්ගීකරණය කරන්න පුලුවන්.
Reptilia වර්ගය Anapsida, Lepidosauria හා Archosauria ලෙසට උප වර්ග (sub class) තුන කට බෙදෙන අතර සර්පයින් අයත් වන්නේ Lepidosauria උප වර්ගයටයි.
Lepidosauria උප වර්ගය නැවත Rhynchocephalia සහ Squmata  ලෙසට නැවත ගෝත්‍ර (order)  දෙකකට බෙදන්න පුලුවන්. මින් Squmata ගෝත්‍රය Sauria,Amphisbaenia හා Serpentes ලෙසින් උපගෝත්‍ර (sub order)  තුනකට වර්ග කරන්න පුලුවන්. සර්පයින් අයත් වන්නේ Serpentes උපගෝත්‍රයටයි.
Serpentes උපගෝත්‍රයට අයත් කුළ (family) 11 සර්පයින් මෙරටදී හමුවේ. මේවා තමයි ලංකාවේ සර්පයින් අයත් වෙන කුළ වශයෙන් හදුනාගෙන තියෙන්නේ,
Family Acrochordidae
Family Boidae 
Family Colubridae 
Family Cylindrophiidae 
Family Elapidae 
Family Homalopsidae 
Family Natricidae 
Family Pythonidae 
Family Typlopidae 
Family Uropeltidae 
Family Viperidae


Kingdom
Animalia
Phylum
Chodata
Sub Phylum
Vertibratae
Class
Reptilia
Sub Class
Lepidosauria
Order
Squmata
Sub Order
Serpentes




Tuesday, October 18, 2011

සර්පයින්ගේ සංවේදන හැකියාව


සමාවෙන්න ඕනි ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වෙච්ච එකට, ඉතින් අද සර්පයින්ගේ සංවේදන හැකියාව ගැන ටිකක් කතා කරන්න හිතුනා. සංවේදන හැකියාව කිව්වහම අද කතා කරන්න යන්නේ සර්පයින්ගේ ඇස, කණ  වගේ ඉන්ද්‍රියන් ගැන කියලා කට්ටියට තේරෙනවනේ ඉතින් නේ.
අපිට නම් ඉතින් කන් දෙකක්ම තිබ්බට මොකෝ, අවට ඇති ශබ්ද හදුනා ගන්න බාහිර පරිසරයට විවර වූ කන් සර්පයින් සතුව ‌නෑ. ඒ හින්දා වාතයත් එක්ක මිශ්‍ර වෙච්ච ශබ්ධ තරංග ග්‍රහනය කර ගැනීමට ඔවුන්ට ‌හැකියාවක් නෑ. ඔය කියන්නේ ඉතින් සර්පයින්ට කන් ඇහෙන් නෑ කියලනේ. ඒ වුනාට තමන් සිටින පෘෂ්ඨය දි‌ගේ පැමි‌නෙන ශබ්ද තරංග මගින් තමන් සිටින පරිසරය පිළිබ‌ඳ අව‌බෝධයක් ළබා ගැනීමේ හැකියාව ‌මොවුන්ට ඇත. මෙයාලා 200-500Hz වැනි අඩු සංඛ්‍යාත වලට සං‌වේදී‌යිලුනේ.
කන් නැති උනාට මොකද මෙයාලට හොද තියුණු ඇස් දෙකක් තියෙනවා. ඒ උනාට මෙයාලට අපිට වගේ ඇස් වටා ඇසි පිය නම් නැහැ. ඒ නිසාස් පරිසරයට නිරාවරණය වි පවතී. ‌මෙම නිසා ඇස් වලට සිදුවන හානි අවම කර ගැනීම ස‌‌ඳහා විනිවිද ‌පෙ‌නෙන ‌කොර‌පොතිතකින්ස් ආවරණය වෙලා තමයි පවතින්නේ.
කොච්චර තියුනු ඇස් දෙකක් මෙයාලට තිබුනත් බො‌‌හෝ සර්පයින්ට වර්ණ හදුනාගැනී‌මේ හැකියාවක් ‌නොමැත. ‌භෞමික සර්පයින්ට (Terrestrial) පැහැදිලිව ළග බලාගත හැකි අතර වෘක්ශවාසී සර්පයින්ට (Arboreal) වැඩි දුරක් පැහැදිලිව දැකගන්න පුලුවන්. (සර්පයෝ ජීවත්වෙන පරිසරය අනුව වර්ග කිරීම පිළිබද විස්තර ඉදිරියේදී ගෙන එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා) ඒ විතරක් නෙමෙයි වෘක්ශවාසී සර්පයින්ට ‌ ත්‍රිමා‌නේක්ෂ දෘෂ්ටියක්ද තියෙනවා කියලා විද්‍යාඥයෝ සොයා‌ගෙන තියෙනවා. ඇතැම් මුහුදු සර්පයින් ආ‌ලෝකයට සං‌වේදී ‌වේ.
‌සර්පයින්ගේ ඇ‌සේ කලු ඉංගිරියාව දිවාකල රවුමට පිහිටන  අතර රාත්‍රී කාල‌යේදී සෘජුව පිහිටයි.  එහෙනම් තවත් දවසක හමුවෙමුකෝ....

Friday, September 16, 2011

සර්පයින්ගේ පොදු ලක්ෂණ (2)

ගොඩක් කාලෙකට පස්සේ අද බ්ලොග් එක පැත්තේ ආවා..එදා අපි සර්පයින්ගේ පොදු ලක්ෂණ ගැන ටිකක් විතර කතා කලානේ, අද තවත් ටිකක් ඒ ගැන කතා කරමු.
සර්පයින්ට කශේරුකාවක් සහ කපාලයක් සහිත අස්තිමය සැකිල්ලක්  පිහිටා තියෙනවා. ඒ වගේම දේහයේ එක් කෙලවරක පැහැදිලිව සංවිධානය වූ හිසක් තිබීමත් පොදු ලක්ෂණයක් විදිහට සලකන්න පුලුවන්.  සර්පයින් සංචරනයේ යෙදෙන්නේ උපස්තරයට සමාන්තරව දේහය නමා ගෙනයි. සර්පයෝ බඩ ගා ගෙන යනවයි කියලනේ ඔය කියන්නේ..
දේහයට පිටතින් සම මත කොරල වැස්මක් තිබීමත්, ග්‍රන්ථි රහිත වියළි සමක් තිබීමත් මෙම සත්ව කාණ්ඩයට පොදු ලක්ෂණ ලෙස හදුන්වන්න පුලුවන්.
අපිට නම් කුටීර හතරක හදවතක් තිබුනට සර්පයින්ට තියෙන්නේ  කුටීර තුනකින් යුක්ත හෘදයක්. ඒ වගේම එයාලගේ හෘදයේ වම් සහ දකුණු සංස්ථානික වක්‍ර පිහිටනවා.  අපිට වගේම සංවෘත රුධිර සංසරණයක් තමා එයාලටත් තියෙන්නේ.
සර්පයින්ගේ සංවේදන අවයව, ඒ කියන්නේ බාහිර පරිසරයෙන්   තොරතුරු ලබා ගන්නා ඉන්ද්‍රියන්, විදිහට ඇස්, නාසය, සම සහ දිව හදුන්වන්න පුලුවන්.
ජම්බාලි විවරය ශරීරයේ පසුපස කොටසේ හරස් අතට පිහිටා තිබීම මෙම සත්ව කාණ්ඩයට පොදු ලක්ෂණයක්.  ඒ වගේම සර්පයෝ කියන්නේ චලතාපී සතුන් කොට්ඨාශයක්.
අන්ඩජ මෙන්ම අන්ඩ ජලාබුජ යන ආකාර දෙකෙන්ම  සර්පයින්ගේ බෝවීම සිද්ධවෙනවා. අන්ඩජ කියන්නේ බිත්තර වලින් පැටවු බෝවීම කියලා ඔයාලා දන්නවා ඇතිනේ. අන්ඩ ජලාබුජ කියන්නේ අර්ධ ලෙස විකසනය වෙච්ච පැටවු බිහිකරනවයි කියන එකනේ.පිඹුරා තමයි අන්ඩ ජලාබුජ ලෙසට පැටවු බිහි කිරීම සිදු කරන්නේ. 
 ඔන්න එහෙනම් අද සර්පයින්ගේ පොදු ලක්ෂණ ගොඩක් කතා කලා...මෙතන තියෙන ගොඩක් දේවල් ඔයාලා දැනටමත් දන්න ඒවා නම් තරහ වෙන්න එපා. වැරදි තියෙනවා නම් ඒවත් කියන්න... ආයෙත් දවසක හමුවෙමුකෝ...