Saturday, August 3, 2013

සර්පයින් හා බැදුන මිත්‍යා විශ්වාස- 2


සර්පයින් ගැන තියෙන මිත්‍යා මත ගැන පසුගිය දවසක ටිකක් කතා කලා මතක ඇතිනේ. අමතක නම් මෙතනින් ගිහිල්ලා පළවෙනි කොටස බලලා එන්නකෝ.


අද කතා කරන්න යන්නේ මිත්‍යා මත ගැන දෙවැනි කොටස
එදත් කිව්වා වගේම  මාපිලුන් ගැන ගොඩක් මිත්‍යා මත අපේ සමාජයේ මිනිසුන් අතර තියෙනවා. ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා මාපිලුන් හත් දෙ‌නෙකු වශ‌යෙන් එකට ජීවත්‌වෙන වෙනවා කියලා. ඒ වගේම එක මා පිලෙක් මැරුවොත්  අ‌නෙක් හය දෙනා ඇවිල්ලා  අදාල පුද්ගලයා‌ගෙන් පළි ගන්නා බව එයාලා විශ්වාස කරනවා.
‌‌මාපිලුන් අනෙක් සර්පයින්ට සර්පයින්ට වඩා ඇතැම් විට රංචු වශ‌යෙන්‌ ජීවත් වෙන්න කැමත්තක් දක්වන බව සොයා ගෙන තියෙනවා. ඒත් හත් දෙනෙක් එකට ඉන්නවයි කියන කතාව බොරුවක්. මේ ගාන දෙන්නෙක්ගේ ඉදලා කිහිප දෙනෙක් දක්වා වෙනස් වෙන්න පුලුවන්. මෙසේ රංචු වශයෙන් සිටීම  සතුන්‌ගෙන් ආරක්ෂාවට වැදගත් ‌වෙනවා. මේ නිසා එ‌කෙකු මිය ගිය විට ශරීර‌යෙන් පිටවන ‌හෝ‌මෝන ආදී රසායනික ද්‍රවයන්ට ආකර්ෂණය වෙලා අ‌නෙක් අයගේ පැමිණීම වෙන්න පුලුවන්  නමුත් පළිගැනීම මිත්‍යා මතයක්.
ඒ වගේම සර්පයින්ගේ ප්‍රජනන කාලයට ඔවුන්ගේ ශරීර වලින් පිට වෙන හෝමෝන ආදී රසායනික ද්‍රවයන් වලට ආකර්ෂණය වෙලා විරුද්ධ ලිංගික සර්පයින්ගේ පැමිණීම සිද්ධ වෙන්න පුලුවන්.
පිඹුරා (Python molurus ) කියන්නෙත් අපේ රටේ ගොඩක් දෙනාගේ මිත්‍යා විශ්වාස වලට භාජනය වෙච්ච සර්පයෙක්.  පිඹුරාගේ වලිගය ‌කෙලවර විෂ කටු ‌දෙකක් තියෙනවා කියලා ඇතැම් අය විශ්වාස කරනවා. ඇත්තටම පිඹුරාගේ වලිගය කෙලවර නෙරීමි දෙකක් තියෙනවා. ඒත් මේවා විෂ කටු නෙමෙයි. මේවා පරිනාම‌යේදී ඇතිවූ පාද වල නෂ්ඨාව‌ශේෂයි. ඒ නිසා මේවායින් පහර දීමේ හැකියාවක් පිඹුරාට නැහැ.
 ඇහැටුල්ලා (Ahaetulla nasuta) මිනිසුන්‌ගේ ඇස් ගලවන බව සමහරක් දෙනා විශ්වාස කරනවා. මෙය සම්පූර්ණයෙන්ම මිත්‍යා විශ්වාසයක්. ඇහැටුල්ලා රුක් වාසී සර්ප‌යෙක්. ‌‌මේ නිසා ‌බො‌හෝ විට මිනිසුන්ට පහර දීම් සිදු වන්‌නේ ශරීර‌‌යේ මුහුන ආශ්‍රිත ඉහළ ‌කොටසටයි. මේ හින්දා මේ මතය මිනිස්සු අතර ගියා කියලා හිතන්න පුලුවන්. නමුත් ඇහැටුල්ලා ඇස් ගැලවීමක් සිදු කරන්නේ නෑ.
නිදි මාපිලා( Boiga ceylonensis )  දෂ්ඨ කළ පසු රෝගියා නින්‌දේදීම මිය යන බවට මතයක් තියෙනවා. ‌මොහු නිශාචර සර්ප‌යෙක් නිසා ක්‍රියාශිලී වෙන්නේ රාත්‍රී කාලයටයි. ඒ හින්දා මිනිසුන්ට පහර දීම්ද සිදු වන්‌නේ රාත්‍රි කාල‌යටයි. නමුත් නින්‌දේදී මිය යන මතය පදනම් විරහිතයි.
න‌යෙක් ( Naja naja )  දෂ්ඨ කළ පසු එම නයා ගෙන්වලා උගෙන් විෂ උරා දැමිය යුතු බවත් එසේ කලොත් රෝගියා මරණයෙන් බේරාගන්නට පුලුවන් කියලත් අතීතයේ මිනිස්සු විශ්වාස කලා. මේක සම්පූර්ණ‌යෙන්ම මිත්‍යා මතයක්.
තිත් ‌පොළගා (Daboia russelii) වයස් ගත වනවිට පිඹුරා (python molurus)  වන බව ඇතැමෙක් විශ්වාස කලත් ‌මෙහි කිසිදු සත්‍යක් ‌නෑ. පිඹුරා සහ පොළගා කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විශේෂ දෙකක්.



ඇහැටුල්ලා (Ahaetulla nasuta)

Sunday, July 28, 2013

සර්පයින් හා බැදුන මිත්‍යා විශ්වාස


අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්. ඒ තමයි සර්පයෝ ගැන මිනිස්සුන්ගේ තියෙන මිත්‍යා විශ්වාස. සර්පයෝ කියන සත්ව කොට්ඨාශය අනිත් සතුන්ටත් වඩා මිත්‍යා මත ගොඩකට පදනම් වෙච්ච විදිහට සත්ත්ව කාණ්ඩයක් විදිහට හදුන්වන්න පුලුවන්. සර්පයින් හා  බැදුන මිත්‍යා විශ්වාස ‌බො‌හොමයක් අප සමාජය තුළ පැතිරිලා තියෙනවා. ‌මේකට ප්‍රධාන‌ ‌හේතුවක් තමයි සර්පයින් පිළිබඳ ජනතාව තුළ පවතින ‌නොදැනුවත් කම වගේම සර්පයින් කෙරෙහි පවතින බිය.
 ‌ලේ මාපිලන් (Bogia forsteny ) හත් ‌දෙ‌නෙකු රාත්‍රියට ඇවිල්ලා  වහ‌ලේ එල්ලිලා  නිදා ගෙන ඉන්න පුද්ගලයින්‌ගේ පාද‌යේ මහපට ඇගිල්ල සිදුරු කර ‌ලේ උරා බොනවා කියලා ගොඩක් ගම්බද පුද්ගලයින් විශ්වාස කරනවා. ‌ ලේ උරා බිබ්වට පස්සේ ‌ලේ හිඟවීම නිසා අදාල පුද්ගලයා නින්‌දේදීම මිය යනවා කියලත් එයාලා හිතාගෙන ඉන්නවා. මේක සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්,‌ලේ මාපිලාට එම නම පටබැදෙන්න උ‌ගේ ශරීර වර්ණය දායක වන්නට ඇතැයි හිතන්න පුලුවන්.  ලේ මාපිලා සතුව තියෙන පරිග්‍රාහී වලිගය නිසා යමක එල්ලී සිටී‌මේ හැකියාව තිබුනත් ලේ උරා බීමක් සිදු කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ‌ලේ උරා ‌බොන කිසිදු සර්ප‌යෙක් ලංකාව තුළින් මෙතෙක් වාර්තා වෙලත් නෑ.
කටකලුවා (Coelognathus helena )  මිනිසුන්ට දෂ්ඨ කලාට පස්සේ  අසල තියෙන ගසකට නගින බවත් ‌රෝගියා මිය යන ‌තෙක් ග‌ස උඩට වෙලා ඉදලා ‌රෝගියා මියගියාට පස්සේ පසු ග‌සෙන් බැහැලා  යනවා කියලත් සමහර අය විශ්වාස කරනවා. මේකත් මිත්‍යා මතයක්, කටකලුවා මිනි‌සෙකුට මරණය ‌ගෙන දීමට තරම් විෂ තියෙන සර්පයෙක් නෙමෙයි. ‌භෞමික හා අර්ධ ‌ලෙස රුක්වාසි‌යෙකු වෙන මේ සර්පයා බොහෝ වෙලාවට ගස් උඩ දැක ගන්න නම් පුලුවන්, ඒත්‌ ‌මොහු එක් වරම මිනිසාට පහර දීමට නම් පෙළ‌‌ඹෙන්නේ නෑ.
ගොඩක් දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි දෙපත් නයාට (Cylindrophis maculatus) හිස්‌දෙකක් තියෙනවයි කියන එක. ‌දෙපත් නයා‌ගේ හිස හා වලිගය දෙකම එකම ස්වරූපයෙන් යුක්ත වීම මේකට හේතු වෙන්න පුලුවන්..
තවත් මිත්‍යා මතයක් තමයි ගැරඩියා (Ptyas mucosa) ‌හෝ දිය බරියා (Gerarde prevostiana ) දෂ්ඨ කලාට පස්සේ  ‌වෙනත් සර්පයින් එම පුද්ගලයාට දෂ්ඨ ‌නොකරන බව.
‌මෙකත් සම්පූර්න‌යෙන්ම මිත්‍යා විශ්වාසයක්. ගැරඩියා වගේම දිය බරියත් හිරිහැර ක‌ලොත් ‌හෝ ඇල්ලීමට උත්සහ දැරීමක් ‌නොකරන්‌නේ නම්  කිසිවිටකත් මිනිසාට පහර දීමට ‌පෙලඹෙන්නේ නෑ.
සර්පයෝ ගැන තියෙන මිත්‍යා විශ්වාස තව ගොඩක් අපේ සමාජයේ තියෙනවා, ඒව ගැනත් තොරතුරු අරගෙන තවත් දවසක හම්බුවෙමුකෝ..


Monday, April 15, 2013

සර්පයින්‌ගෙන් අපිට උදව්....???


අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් නොදන්න කාරණාවක් ගැන. ඒ තමයි සර්පයන්ගෙන් අපිට ලැබෙන උදව් ගැන. ගොඩක් අය හිතන්න පුලුවන් සර්පයින්ගෙන් අපිට මොන උදව්ද? සර්පයින්ගෙන් අපිට ලැබෙන්නේ කරදර විතරක් කියලා. එහෙම හිතන්න එපා. සර්පයින්ගෙන් මිනිස්සු වෙන අපිට විතරක් නෙමෙයි අනෙක් සත්තුන්ටත් ලොකු මෙහෙයක් ඉටු වෙනවා.
මිහිතලය මත වසන සෑම සත්ව ‌කොට්ඨාශයක් ‌වගේම සර්පයින්ද මිහිතලයේ පැවැත්මට යම්‌ ‌මෙ‌හෙයක් ඉටු කරනවා. ලංකා‌ව කියන්නේ ‌‌ෙ‌ජෙවවිවිධත්වය අතින් ලෝකයේ අනෙක් ගොඩක් රටවල් වලට වඩා ඉදිරියෙන් ඉන්න රටක්. ඉතින් ලංකාවේ මෙන්න මේ කියන ‌‌ෙ‌ජෙවවිවිධත්වය ඉහල දාන්න සර්පයින්‌ගේ දායකත්වය අත්‍යාවශ්‍ය ‌වෙනවා.
ඒ වගේම ලංකාව කියන්නේ ඈත අතීත‌යේ ඉදලම කෘෂිකාර්මික රටක්. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තියෙන ලොකු ගැටලුවක් තමයි විලෝපිකයින් ගෙන් වගාවන්ට සිද්දවෙන හානිය. විශේෂයෙන්ම මීයන් වගේම අනෙකුත් කෘමි සත්තුන් ගෙනුත් ලොකු හානියක් සිද්දවෙනවා.
සර්පයින් කියන්නේ ආහාර දාම වල අවසාන මට්ටම් වල යැ‌පෙන්නන්. මේ හින්දා සර්පයෝ මීයන් වගේම වගාවන්ට හානි කරන විවිධ කෘමි සත්තු ආහාරයට ගන්නවා. ඒක හින්දා ඒ සතුන්ගේ ‌බෝ වීම පාලනය ‌‌වෙනවා. එයින් වගාවන්ට විශාල ‌ලෙස පාඩු සිදු වීම වැළ‌කෙනවා.
 වගාවන්ට හානි කරනවට අමතරව මීයන් නිසා මී උණ වැනි වගේ වසංගත තත්වයන් පැතිරිලා යනවා. ඔයාලා කවුරුත් දන්නවා ඇති මී උණ කියන්නේ මාරාන්තික ලෙඩක්. ඉතින් සර්පයින් විසින් මේ දරුණු රෝගය පතුරුවන මීයන් ‌ගොදුරු කර ගන්නවා. ඒක මේ වසංගතය මර්ධනය කරන්න ලොකු පිටිවහලක් ‌ෙවනවා.
ඔයාලා ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති ඔයාලා ඇතැම් ලෙඩ වලට ගන්න බෙහෙත් හදලා තියෙන්නේ සර්පයින්ගේ විෂ යොදාගෙන කියලා. ‌ෙ‌වෙද්‍ය විද්‍යාවේ බෙහෝ ඖෂධ නිපදවන්න සර්පයින් උප‌යෝගී කර ගන්නවා. ‌බොහෝ විට සර්පයින් දෂ්ඨ කල විට ලබා ‌දෙන ප්‍රති විෂ ( Anti venom  ) නිෂ්පාදනය කරන්න ‌‌යොදා ගන්නේ සර්ප විෂයි.
පිළිකා, සරම්ප, හි‌මෝෆීලියාව, ස්නායු ‌රෝග, ලාදුරු, රූමටික උණ, මහාමාරිය, ඇදුම වැනි ‌රෝග වැලදුන රෝගීන්ගේ ජීවිත බේරා ගන්න මර්ධනය කළ සර්ප විෂ ‌යොදා ගන්නවා.
ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල විවිධ ජන ‌කොට්ඨාශ වල ජීවිකාව සර්පයින් මත රැදිලා ති‌යෙනවා. වි‌ශේෂ‌යෙන්ම අහිගුන්ඨක ජන ‌කොධ්ඨා   නයින් නැටවීම මගින් තම ජීවිකාව පවත්වා ගෙන යනවා.
ඉතින් මේ කිව්වේ සර්පයින්ගෙන් මිනිස්සු වෙන අපිට ලැබෙන වාසි කිහිපයක් විතරයි. සර්පයෝ අපිට මෙච්චර උදව් කරලත් අපේ ගොඩක් දෙනා තුළ සර්පයෝ ගැන තියෙන ආකල්පය නම් එච්චර හොද එකක් නෙමෙයි කියලයි මම හිතන්නේ.

Saturday, February 16, 2013

හොමොලොප්සිඩේ කුළය Family Homalopsidae


Family Homalopsidae            

පසුගිය දවස් වල සර්පයෝ අයිතිවෙන කුළ ගැන කතා කරමින් හිටියා ඔයගොල්ලන්ට මතක ඇතිනේ, ඉතින් ගොඩක් දවසකට පස්සේ අද තවත් සර්ප කුළයක් ගැන කතා කරන්න හිතුවා. ලෝකය පුරා  කුළ 19කට (David & Ineich,1999) අයිති සර්පයෝ හිටියත් ලංකාවේ සර්පයෝ අයිතිවෙනනේ කුළ 11කට විතරයි. අද අපි කතා කරන්නේ  මේ කුළ අතරින් Homalopsidae කියන සර්ප කුළය ගැන.

මෙම කුලයට අයත් සර්ප විෂේශ 3 ක් වගේ සුලු සංඛ්‍යාවක් විතරයි ලංකාව තුළදී හමුවෙන්නේ.  කොහොම වුනත් මේ මෑත කාලයක් වෙනකන් මේ සර්ප විෂේශ තුනත් දාලා තිබුනේ  Colubridae කියන සර්ප කුළයට. නමුත් පස්සේ කාලෙකදී මෙයාලගේ දකින්න පුලුවන් වෙනස්කම් සැලකිල්ලට ගත්ත විද්‍යාඥයෝ මෙයාලව වෙනත් කුළයකට දාන්න තීරණය කලා.

 මෙම කුළයට අයත් සර්ප විෂේශ මධ්‍යම ප්‍රමාණයේ ශරීර දරනවා. ඒ වගේම මෙයාලා සියලුම දෙනා ජලජ වාසීන්. මිරිදියේ ජීවත් වෙනවා. කුනුදිය කලුවා( Cerberus rynchops ) Dog-faced Water Snake
දේදුනු දිය බරියා (Enhydris enhydris) Rainbow Mud Snake   
ප්‍රොවොස්ටිගේ දිය බරියා (Gerarda prevostiana  ) Glossy Marsh Snake  
මෙම කුලයට අයත් සර්ප විෂේශ තුන විදිහට හදුන්වන්න පුලුවන්. මේ සර්ප විෂේශ තුනම විෂ රහිත සර්පයෝ විදිහටයි සලකන්නේ. කොහොම වුනත් මේ සර්පයෝ වාර්තා වෙලා තියෙන්නේ බොහොම කලාතුරකින්. ඒ කියන්නේ මෙයාලගේ සංඛ්‍යාව බොහොම පොඩ්ඩයි. මේ හින්දා මෙයාලා වද වීමේ තර්ජනයටත් මුහුනපාලා ඉන්නවා. ඉතින් මෙයාලා වද වීමට නොදී ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්.

කුනුදිය කලුවා (Cerberus rynchops) Dog faced Water Snake

(ජායාරූපය ඇනස්ලම්ද සිල්වා මහතාගේ Snakes of Sri Lanka” ග්‍රන්ථයෙන්)