Friday, January 4, 2013

සර්ප දෂ්ඨනයෙන් වැලකී සිටින්නේ කෙසේද?


ලැබුවා වූ නව වසර හැම දෙනාටම සුභම සුභ නව වසරක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්දේ  අපි කතා කරන්න යන්නේ හැමදෙනෙකුටම ගොඩක් වැදගත්වෙන මාතෘකාවක් වෙන සර්ප දෂ්ඨනයෙන් වැලකිලා ඉන්නේ කොහොමද කියන එක ගැන.
මම නම් හිතන්නේ බොහොමයක් සර්ප දෂ්ඨනයන් වෙන්නේ අපේම වැරැද්දෙන් එහෙමත් නැත්නම් අපේම නොසැලකිල්ල නිසා කියලයි. මේක කොයිතරම් දුරට නිවරදිද කියන එක ඔයාලම හිතලා බලන්න.
සර්පයින් මිනිසුන්ට දෂ්ඨ කිරීමට ප්‍රධානතම හේතු වන්නේ මිනිසුන් සර්පයින්ට හිරිහැර කිරීමට යෑම, ඔවුන්ගේ වාසස්ථාන වලට කරදර කිරීම  මෙන්ම ආහාර සොයා යනවිට බාධා කිරීම වගේ මිනිස් ක්‍රියාකාරකම්.
සර්පයනුත් අනෙක් බොහොමයක් සත්ත්ව විෂේශ වගේම තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇතැයි හැගුනු විට දෂ්ඨ කිරීමට පෙලඹෙනවා.  ගොඩක් වෙලාවට සර්පයින් ආහාර සොයාගෙන යන කොට ඒ මාර්ගය අවහිර වෙන විදිහට මිනිසුන් ගමන් කිරිම හෝ ඒ කාර්යයට බාධා කිරීම නිසා, සර්පයා විසින් ගොදුර කියලා වැරදීමකින් මිනිසාට පහරදීමට පෙළඹෙන්න පුලුවන්.
පහත සදහන් කරලා තියෙන කරුනු පිළිබදව සැලකිළිමත් වීමෙන් පහසුවෙන්ම සර්ප දෂ්ඨන වලින් වැලකී සිටීමට ඔයාලටත් හැකියාවක් ලැබෙයි.
සර්ප දෂ්ඨන වලින් 70% පමණ  සිදුවෙන්නේ පාදයේ වලලුකරෙන් පහල කොටසේයි. මේ නිසා අවදානමක් සහිත ප්‍රදේශ වල ගමන් කිරීමේදී විමසිලිමත්ව ගමන් කිරීම. හැකියාවක් තියෙනවානම් බූට්ස් පැළද යාමත් හොද ආරක්ෂිත ක්‍රියාමාර්ගයක්. මෙතනදී මම අවදානම්  ප්‍රදේශ කියලා හැදින්වූයේ උසට වැඩුනු තණකොළ, පදුරු තියෙන  ප්‍රදේශ වගේම වනාන්තර වගේ මාර්ගය හොදින් පේන්නැති මාර්ග.
 ඒ වගේම රාත්‍රී කාලයට ගමන් යන විට විදුලි පන්දමක් හෝ සුදුසු ආලෝකයක් රැගෙන යාම අනිවාර්යෙන්ම කරන්න ඕනි දෙයක්. එසේම ලී කැබැල්ලකින් පොළවට තට්ටු කරමින් යන එකත් සර්ප දෂ්ඨනයෙන් වැලකී සිටිමට උපකාර වෙනවා. සර්පයින්ට කන් ඇහුනේ නැත් වුනාට ගමන් කරන පෘෂ්ඨය දිගේ පැමිනෙන ශබ්ද තරංග වලට ප්‍රතිචාර දැක්විය හැකි නිසා ඔවුන් මාර්ගයෙන් ඉවත් වෙනවා.
සර්පයින් ගොඩක් වෙලාවට දවල් කාලයේ  ගස් බෙන, හුඹස් , ගල් අතර වගේම පොළවේ ඇති විවර වල හැංගිලා ඉන්නවා. මේ නිසා මේවා තුළට අත දැමීමෙන් වැලකිලා ඉන්න ඕනි. එහෙමත් නැත්නම් කෝටු කැබැල්ලක් වැනි දෙයක් උපයෝගීකරගෙන ඉතාමත් ප්‍රවේශමෙන් කරන්න ඕනි.
කැලෑ එළි පෙහෙලි කිරීම, තෘණ කැපීම වැනි ක්‍රියා වල යෙදී ඉන්න කොටත් සර්ප දෂ්ඨනයන්ට ලක්වීමේ අවදානමක් තියෙන හින්දා ප්‍රවේශමෙන් එම ක්‍රියාවල නිරතවීම වැදගත්.
අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශ වලින් ගොඩ ගසා ඇති දර ගොඩවල් වලින් දර ගැනීමේදී හා දර එකතු කිරීමේදී සිදුවෙන සර්ප දෂ්ඨනයන් නිරන්තරයෙන් වාර්තා වෙනවා. මේ හින්දා එවැනි ක්‍රියා වල නිරතවෙන කොට තරමක් අවධානයෙන් ප්‍රවේශමෙන් කටයුතු කිරීමෙන් එවැනි අනතුරු වලින් බේරෙන්න පුලුවන්. සර්පයින්ගෙන් ආරක්ෂා වෙන එක ගැන නම් කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒ තොරතුරු අරගෙන තවත් දවසක, දෙවෙනි කොටසින් හමුවෙන්නම්කෝ..



4 comments:

  1. digatama karagena palayan malaya.. godak watinawa ape nodanna ayata mewa kiyala dena ekata.

    ReplyDelete
  2. itama agana lipiyak

    ReplyDelete
  3. හැමෝටම බොහොම ස්තූතියි..

    ReplyDelete