Friday, September 16, 2011

සර්පයින්ගේ පොදු ලක්ෂණ (2)

ගොඩක් කාලෙකට පස්සේ අද බ්ලොග් එක පැත්තේ ආවා..එදා අපි සර්පයින්ගේ පොදු ලක්ෂණ ගැන ටිකක් විතර කතා කලානේ, අද තවත් ටිකක් ඒ ගැන කතා කරමු.
සර්පයින්ට කශේරුකාවක් සහ කපාලයක් සහිත අස්තිමය සැකිල්ලක්  පිහිටා තියෙනවා. ඒ වගේම දේහයේ එක් කෙලවරක පැහැදිලිව සංවිධානය වූ හිසක් තිබීමත් පොදු ලක්ෂණයක් විදිහට සලකන්න පුලුවන්.  සර්පයින් සංචරනයේ යෙදෙන්නේ උපස්තරයට සමාන්තරව දේහය නමා ගෙනයි. සර්පයෝ බඩ ගා ගෙන යනවයි කියලනේ ඔය කියන්නේ..
දේහයට පිටතින් සම මත කොරල වැස්මක් තිබීමත්, ග්‍රන්ථි රහිත වියළි සමක් තිබීමත් මෙම සත්ව කාණ්ඩයට පොදු ලක්ෂණ ලෙස හදුන්වන්න පුලුවන්.
අපිට නම් කුටීර හතරක හදවතක් තිබුනට සර්පයින්ට තියෙන්නේ  කුටීර තුනකින් යුක්ත හෘදයක්. ඒ වගේම එයාලගේ හෘදයේ වම් සහ දකුණු සංස්ථානික වක්‍ර පිහිටනවා.  අපිට වගේම සංවෘත රුධිර සංසරණයක් තමා එයාලටත් තියෙන්නේ.
සර්පයින්ගේ සංවේදන අවයව, ඒ කියන්නේ බාහිර පරිසරයෙන්   තොරතුරු ලබා ගන්නා ඉන්ද්‍රියන්, විදිහට ඇස්, නාසය, සම සහ දිව හදුන්වන්න පුලුවන්.
ජම්බාලි විවරය ශරීරයේ පසුපස කොටසේ හරස් අතට පිහිටා තිබීම මෙම සත්ව කාණ්ඩයට පොදු ලක්ෂණයක්.  ඒ වගේම සර්පයෝ කියන්නේ චලතාපී සතුන් කොට්ඨාශයක්.
අන්ඩජ මෙන්ම අන්ඩ ජලාබුජ යන ආකාර දෙකෙන්ම  සර්පයින්ගේ බෝවීම සිද්ධවෙනවා. අන්ඩජ කියන්නේ බිත්තර වලින් පැටවු බෝවීම කියලා ඔයාලා දන්නවා ඇතිනේ. අන්ඩ ජලාබුජ කියන්නේ අර්ධ ලෙස විකසනය වෙච්ච පැටවු බිහිකරනවයි කියන එකනේ.පිඹුරා තමයි අන්ඩ ජලාබුජ ලෙසට පැටවු බිහි කිරීම සිදු කරන්නේ. 
 ඔන්න එහෙනම් අද සර්පයින්ගේ පොදු ලක්ෂණ ගොඩක් කතා කලා...මෙතන තියෙන ගොඩක් දේවල් ඔයාලා දැනටමත් දන්න ඒවා නම් තරහ වෙන්න එපා. වැරදි තියෙනවා නම් ඒවත් කියන්න... ආයෙත් දවසක හමුවෙමුකෝ...